April 26, 2024

පොහොර මිටිය 8500යි - පොහොර ගන්න ගොවීන් පොරකයි (PHOTOS)

December 28, 2021

වසර එකහමාරකට පමණ පසුව දඹුල්ල නගරයේ පෞද්ගලික වෙළඳසැලකට අද (28) පෙරවරුවේ එළවළු පොහොර තොගයක් ලැබීමත් සමග එය මිලදී ගැනීම සඳහා ගොවීන් විශාල වශයෙන් පැමිණ සිටියා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි මෙම පෞද්ගලික රසායනික ද්‍රව්‍ය පොහොර අලෙවි සැල ඉදිරිපිට අලුයම සිට ගොවීන් පැමිණ පෝලිම්වල සිට ඇති බවත් එක ගොවියකුට එළවළු පොහොර කිලෝ 50කින් යුත් ඇසුරුම් දෙක බැගින් ලබා දීමට එම පෞද්ගලික වෙළඳසැල් හිමියා පියවර ගෙන තිබුණා.

පසුගිය කාලයේ රුපියල් 1,500ක මුදලකට අලෙවි වූ එළවළු පොහොර මිටිය රුපියල් 8,500 ක මිලකට ලබා ගැනීමට හැකි වන බව ගොවීන් පැවසුවා.

අලුයම් කාලයේ සිට පෝලිමේ සිට එළවළු පොහොර මිටි දෙකක් ලබා ගත් ගොවීන් කියා සිටියේ මෙම පොහොර එලවලු වගාවට යෙදවීම් සඳහා නොව මේ වන විට තමන්ගේ කුඹුරු වගාව විනාශ වී යන නිසා එළවළු පොහොර ගොයම් වගාවට යොදන බවයි.

තවත් ගොවීන් පිරිසක් කියා සිටියේ තමන් පෝලිමේ සිට පැය ගණනාවක් සිටියද අවසානයේ දී පොහොර නොලැබුණු බවයි.

වෙළඳසැල් හිමියන් කියා සිටියේ වසර එකහමාරකට පමණ පසුව තම වෙළඳසැලට පොහොර මිටි තුන්සීයක් ලැබුණු බවයි. පැමිණ සිටි ගොවීන් අතරේ සමසේ අලෙවි කිරීම සඳහා එක් ගොවියකුට පොහොර මිටි දෙක බැගින් අලෙවි කිරීම්ට තීරණය කළ බවයි.

පොහොර මිලදී ගැනීම සඳහා විශාල ගොවීන් පිරිසක් එක්රැස්වී සිටි අතර එම ස්ථානය දැඩි කලබලකාරී තත්වයක්ද දක්නට ලැබුණා.

පසුගිය කාලයේ රසායනික පොහොර රුපියල් 1500කට ලබා දුන්නේ රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ.

නමුත් මේ වන විට කාබනික පොහොර වැඩසටහන යටතේ රසායනික පොහොර භාවිතය අවම කිරීම සඳහා රජය රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට කටයුතු කළා.

ඉන්පසු නැවතත් රජය පොහොර ගැටලුව උද්ගත වීමත් සමඟ පුද්ගලික අංශයට පොහොර නැවත ආනයනය කිරීමට අවසර ලබා දුන්නා.

රජය ප්‍රකාශ කළේ රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ලබා දෙන්නේ කාබනික පොහොර පමණක් බවයි.

ඒ අනුව රසායනික පොහොර සඳහා රජයේ සහනාධාර ලබා දීම සම්පුර්ණයෙන්ම මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව පොහොර මිටියක මිල සිඝ්‍රෙන් ඉහළ යමින් පවතිනවා.

 

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 12:34