April 26, 2024

(EXCLUSIVE) 'ජය ශ්‍රී' සංගීතය අවසන්ද? වාරණයේ ඇත්තම කතාව මෙන්න!

December 19, 2021

“ජය ශ්‍රී” සංගීත කණ්ඩායම ලෙස හැඳින්වෙන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන ගායන ශිල්පීන් දෙදෙනාට එරෙහිව පසුගිය දා කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් ලබා දෙනු ලැබුවා.

ඒ “ජය ශ්‍රී” ගීත 20ක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින්.

ජය ශ්‍රී

“ජය ශ්‍රී” සංගීත කණ්ඩායම මීට වසර ගණනාවකට පෙර කරළියට පැමිණියේ තිදෙනෙකුගෙන් යුතු ගායක කණ්ඩායමක් ලෙස යි.

අරුණ ලියාන්, රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන ශිල්පීන් මෙම කණ්ඩායමට ඇතුළත් වූවා.

‘රෙගේ’ ශෛලිය මෙන්ම මීට පෙර මෙරට තුළ නෑසුණු නාද රටා භාවිත කරමින් මෙරට සංගීතයේ ඔවුන්ටම ආවේනික වෙනසක් කළ ජය ශ්‍රී, සිය නිර්මාණ හරහා මෙරට සංගීත ලෝලීන්ගේ නොමඳ ආදරය දිනාගනු ලැබුවා.

ඔවුන් කොතරම් සාර්ථක වූවා ද කිවහොත් ජය ශ්‍රී මුල් නිර්මාණ ගොන්න අතර තිබූ ඇතැම් ගීත සිනමා නිර්මාණ සඳහා පවා භාවිත වූවා.

අරුණ ලියාන්

අතිශය ජනප්‍රියත්වයට පත් ජය ශ්‍රී මුල් ගීතවල සංගීත නිර්මාණය සහ තනු නිර්මාණය සිදු කළේ අරුණ ලියාන් නොහොත් අරුණ ලියනගේ විසින්.

අදවන විට ජය ශ්‍රී ගීත බවට පත්ව ඇති “සුදු ඇඳුමින්”, “ආදර ලොවේ” සහ “ශීලා” ඇතුළු බොහෝ ගීත අරුණ ලියාන් විසින් සිය ශබ්දාගාරය තුළ දී  නිර්මාණය කොට ඇත්තේ ජය ශ්‍රී ලෙස ගායන කණ්ඩායමක් ආරම්භ වීමටත් පෙර යි.

කෙසේ වෙතත් ජය ශ්‍රී නාමය යටතේ සිය ගීත රෝහිත සහ රොහාන් යන දෙදෙනා සමග කැසට් පට දෙකක් මගින් එළි දක්වා ඇති අරුණ ලියාන් පසුව එම කණ්ඩායමෙන් ඉවත්ව ඇත්තේ යම් කරුණක් පිළිබඳව කළකිරීමෙන්.

අයියයි මල්ලියි

ඉන් අනතුරුව රෝහිත සහ රොහාන් යන සොයුරන් දෙදෙනා අදාළ ගීත සහ ජය ශ්‍රී නාමය තමන්ගේ කොට ගෙන කටයුතු කර ඇති බව සඳහන්.

අරුණ ලියාන් පවසන්නේ තමන් එදෙස බලා නිහඬව සතුටු වූ නමුත් පසුව ගීතවල අයිතිය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත අතිශය කණගාටුදායක බව යි.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප වෙත අදහස් දක්වමින් අරුණ ලියාන් පවසා සිටියේ තමන් වෙහෙස වී නිර්මාණය කළ ගීතවලට අදාලව තමන්ට නිසි අයිතියක් නොලැබුණු බව යි.

එමෙන්ම එම අයිතිය ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් ජය ශ්‍රී කණ්ඩායම කටයුතු කළ බව ද ඔහු අප වෙත පවසා සිටියා.

තම නිර්මාණවල අයිතිය ඔප්පු කිරීමට ඇති තාක්ෂණික සාක්ෂි සියල්ල සතු පසුබිමක තමන් නිහඬව සිටිය දීත් සිය නිර්මාණ අයිතිය හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කරන්නේ නම් තමන් තවදුරටත් නිහඬව සිටීමෙන් පළක් නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.

නඩුමගට

මේ අනුව සිය නිර්මාණවල අයිතීන් වෙනුවෙන් අරුණ ලියාන් නීතියේ පිහිට පැතීමට ක්‍රියා කර තිබෙනවා.

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ වත්මන් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් පසුගිය ජුනි මාසයේ දී එන්තරවාසි යවා තිබුණේ ඒ අනුව යි.

එය සළකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට යන දෙදෙනාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා.

වාරණය

අදාළ වාරණ නියෝගයට අනුව සංගීත ශිල්පී අරුණ ලියාන් විසින් ගායනය, වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ප්‍රාර්ථනා, සුදු ඇදුමින්, මොඩ් ගොවියා, ආදර ලොවේ, සියුමැලි, ශීලා, සුන්දරියේ, හනුමන්තා ඇතුලු ගීත 20 ක් ජය ශ්‍රී නාමය යටතේ සිය තනි නිර්මානයක් ලෙස ගායනා කරමින් අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිඟින් ටෝන්ස්වල ආදියෙහි භාවිතා කිරීමට අදාළව මෙම නියෝගය ක්‍රියාත්මක වනවා.

නීතිඥ රඛිත රාජපක්ෂ, නීතීඥ සදුන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන අය පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් පෙනි සිටියා.

මෙම නඩුව මෙම මස 31වන දින නැවත කැදවීමට නියම වී තිබෙනවා.

Rate this item
(5 votes)
Last modified on Sunday, 19 December 2021 19:02