April 27, 2024

"සාකච්ජා ගොඩක් කළා" - අර්ජුන කියයි (VIDEO)

December 01, 2021

වෙනම පක්ෂයක් හදන්න හෝ පවතින පක්ෂයක් සමඟ එකතු වී දේශපාලනයේ නිරත වීමේ අදහසක් නොමැති බවත් ඒ වෙනුවට රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්වහන්සේ දෙනම හමුවේ පැවසුවා.

පක්ෂ දේශපාලනය තුළ තවදුරටත් සිරනොවී තමන් ස්වාධීනව ඉඳිමින් රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කරන බවද ඒ මහතා සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු රණතුංග මහතා තම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්වහන්සේ දෙනම දැනුවත් කිරීම සඳහා ඊයේ (30) පස්වරුවේ මහනුවරට පැමිණියා.

මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ද අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගත් අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසුවා.               

"අද මේ රටට පවතින පක්ෂ දේශපාලනය තුළින් යහපතක් වෙන්නේ නැහැ.ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයයි. අපි ගොඩනගන්න උත්සහ කරන්නේ එයයි. ඒ සඳහා පුද්ගලයින් හා කණ්ඩායම් කිහිපයක් සමඟ මා සාකච්ඡා කළා. එජාප පෙරමුණෙන් 2015 ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගියා. යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් මට බාර දුන්නා. ඒවා ලාභ ලබන තත්ත්වයට මම ගෙනාවා. රටේ දේපොළ විකුණන්න යත්දී ඒවා බේරා ගත්තා. පසුගිය මහ මැතිවරණයේදී එජාපය පරාජය වීමෙන් පසු සැවොම එකට තියා ගන්න මම ලොකු උත්සහයක් ගත්තා.ඒ වෙලාවේ හැමෝම එකට හිටියා නම් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ජනතාවට අවශ්‍ය දේ සිද්ධ වුණු නිසා මම වසර දෙකක් දේශපාලනයෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු කළා. ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් යන විට රටේ ප්‍රශ්න ගණනාවක් ඇතිව තිබෙනවා. මේවා කොවිඩ් උවදුර නිසාම ඇති වුණා කියන්න බැහැ. එජාපයේ සිටීම පක්ෂයට වගේම මටත් වැඩක් නැහැ කියලා හිතුණ නිසා මම අයින් වුණා."

"එජාපයේ වෙනසක් ඇති කරන්න ඕන කියලා මම හිතුවා. නායකතුමා සමඟත් කෘත්යාධිකාරී මණ්ඩලයෙත් මේ ගැන සාකච්ඡා කළා. අවාසනාවකට ඒ දේවල් සිද්ධ වුණේ නැහැ. පක්ෂ දේශපාලනයට මම කැමැති නැහැ. පසුගිය මහ මැතිවරණයේදී වෙනත් කණ්ඩායමක් සමඟ එකතු වුණා නම් මට පහසුවෙන් පාර්ලිමේන්තු යන්න තිබුණා. නමුත් අද මම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නොලැබුණු එක ගැන. තමන් ගැන නොසිතා රටට ආදරය කරන වංචාව දුෂණය පිටු දකින කණ්ඩායමක් මේ රටේ පාලනයට අවශ්‍යයි. අපි කටයුතු කරමින් සිටින්නේ එවැනි පිරිසක් ඒකරාශි කිරීමටයි. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට පෙර හා පසුව මට පක්ෂ රැසකින් හා විවිධ සංවිධාන වලින් ආරාධනා ලැබුණා ඔවුන් හා එක්වන්න කියා. මම ඒ බොහෝ පිරිස් සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කළ අය පිළිබඳව දැන්ම හෙළි කිරීම සුදුසු නෑ කියලා මම හිතනවා. මේ රටේ පක්ෂ දේශපාලනය කෙරේ කලකිරුණු අයත් එතන ඉන්නවා. කෙසේ වුවත් ලබන වසරේ මුල් භාගයේ මගේ නව අනාගත ගමන ආරම්භ කරන බලාපොරොත්තුවෙන් මම ඉන්නවා."

Rate this item
(2 votes)
Last modified on Wednesday, 01 December 2021 18:58