April 26, 2024

ඇෆ්ඝනිස්තාන බලය ඇල්ලූ තලිබානුවන්ගෙන් ශ්‍රී ලංකාවටත් බලපෑම්

ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවා තිබූ රජය පෙරළා දමා ඇෆ්ඝනිස්තානයේ බලය තලිබාන් ත්‍රස්තයින් විසින් අල්ලා ගැනීමත් සමග, එරටට මෙන්ම අසල්වැසි රාජ්‍යයන්ට ද මෙම බල පෙරළිය විවිධාකාරයෙන් බලපෑම් ඇති කොට තිබෙනවා.

දකුණු ආසියාතික රටක් සේ සැළකෙන ඇෆ්ඝනිස්තානයේ තලිබාන් පාලනය රටවල් රැසක් විසින් මේවන විටත් නිල වශයෙන් පිළිගෙන නැහැ.

මෙවන් පසුබිමක තලිබාන් ත්‍රස්තයින්ගේ රාජ්‍ය පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වීමට නියමිත බලපෑම් පිළිබඳව ද විවිධ මත පළ වී තිබෙනවා.

ආකාර දෙකකින් බලපෑම්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ තලිබාන්වරුන් එරට රාජ්‍ය බලය ගැනීම ත්‍රස්තවාදය අතින් මෙන්ම මත්ද්‍රව්‍ය අතින් ද ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි බව යි.

ජයකොඩි මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කරනවා.

“ඉස්සර අපිට හෙරොයින් ආවේ පකිස්තානයෙන් ඉන්දියාවට ඇවිත් ඉන්දියාවෙන් තූත්කුඩියට ඇවිත් එතනින් මන්නාරමට හරි මීගමුවට හරි ඇවිල්ලා. හැබැයි වර්තමානය වෙනකොට ඉරානයෙන් පකිස්තානයෙන් කෙළින්ම හෙරොයින් එනවා. දැන් මේ තලිබාන්වරු බලය අල්ලගත්තම වෙන්නේ මත්ද්‍රව්‍ය ජාලය තව තවත් පුළුල් වෙන එක. ඒකට හේතුව මේ තලිබාන්වරුන්ගේ මූලික ආදායම මත්ද්‍රව්‍ය ජාවාරම වීමයි. ඒ නිසා මත්ද්‍රව්‍ය ඉදිරියේදී වැඩිවෙන්න පුළුවන්”

මීට පෙර ද තලිබාන් ත්‍රස්තයින් ඇෆ්ඝනිස්තානය තුළ බලය පිහිටුවාගෙන කෘෘර පාලනයක් ගෙන ගිය අතර, අමෙරිකාව ප්‍රමුඛ බටහිර හමුදාව පැමිණ යුද බලයෙන් එම පාලනය පෙරළා දැමුවේ 2001 වසරේ දියි.

එයට පෙර ද ඇෆ්ඝනිස්තාන පාලකයන් වූ තලිබාන්වරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම යි.

යළි රාජ්‍ය බලය තලිබාන්වරුන් අතට පත් වීමත් සමග එරට දැඩි මූල්‍ය අර්බුදයකට ද ලක්ව තිබෙනවා.

එබැවින් නැවතත් තලිබාන්වරු සිය සුපුරුදු ආදායම් මාර්ගය වූ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරම් වෙත මහාපරිමාණයෙන් යනු ඇතැයි විදෙස් විචාරකයින් පවා සඳහන් කරනවා.

ත්‍රස්තවාදය

මේ අතර තලිබාන් පාලනයත් සමග කලාපීය වශයෙන් ඉස්ලාම් ත්‍රස්තවාදය හිස එසවීමේ හැකියාව ද සුළු පටු නැහැ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඒ පිළිබඳව අදහස් පළ කරන්නේ මේ අයුරින්.

“ඇමරිකාව ඉතාම අවිචාරවත් වැඩක් කළා 2020 මාර්තුවල. ඒ ඇමරිකාවේ බලපෑම මත අත්සන් කරපු ඇෆ්ඝනිස්තානයයි තලෙබාන්ලායි අතර දෝහා ගිවිසුම. ඒ නිසා ඇෆ්ඝන් බන්ධනාගාරවල රඳවලා හිටිය තලිබාන්ලා 5000ක් විතර නිදහස් කළා. මේකට ඇෆ්ඝන් හිටපු උප ජනාධිපති අමරුල්ලා සලේ දැඩිව විරුද්ධ වුණා. ඔහු කොහොමත් විරුද්ධයි තලිබාන්ලාට. කොහොම වුණත් ඒ අය නැවතත් ඇෆ්ඝන් ආණ්ඩුවට එරෙහිව තලිබාන්ලා එක්ක හිට ගත්තා”

ISIS-K සංවිධානය

“ඒ වගේම කියන්න ඕනේ මේ වෙනකොට බිහිවෙලා ඉන්නවා ISIS-K කියලා කණ්ඩායමක්. මේ අයගේ නිජභූමිය වෙන්නේ කොරාසන් සිහින රාජ්‍යය. ඒ අය හදාගත්ත එකක්. ඒ නිසයි ඒ සංවිධානය කොරාසාන් සංවිධානය ලෙස හඳුන්වන්නේ. දැන් මේකේ ඉන්නේ ක්‍රියාකාරී ඊජිප්තු ජාතිකයෙක් නායකයා හැටියට. 

මේ සංවිධානයට මේ වෙද්දි බැඳිලා ඉන්නේ ඇෆ්ඝනිස්තානයේ සහ පකිස්තානයේ ඉන්න අන්තවාදී ඉස්ලාම්වරු. ඔවුන් විසින් තමයි මේ සංවිධානය මෙහෙයවන්නේ. ඒ නිසා ඔවුන් මේ වෙද්දී තලිබාන්ලට විරුද්ධව සටන් වදිනවා. ඒකට හොඳම උදාහරණය තමයි කාබුල් ගුවන්තොටුපළට එල්ල කළ ප්‍රහාරය. ඒක කළේ කොරාසාන්ලා”

වැඩිම බලපෑම ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

මේ අයුරින් හිස ඔසවන ඉස්ලාම් ත්‍රස්තවාදය මෙරටට බලපාන ආකාරය පිළිබඳව ද ප්‍රියන්ත ජයකොඩි මහතා මෙලෙස අදහස් පළ කරනවා.

“දකුණු ආසියාවේ වැඩිම බලපෑම තියෙන්නේ ඉන්දියාවටයි ලංකාවටයි. ඒකට හේතුව මුස්ලිම් ජනගහනය අඩු නිසා. මේ නිසා ඔවුන්ගේ ඉලක්කය වෙන්න පුළුවන් අපේ වගේ රටවල්. ඒකට මම හේතු කියන්නම්. 

ඇෆ්ඝනිස්තානයේ හිටපු උප ජනාධිපති අමරුල්ලා සලේ තවමත් තලිබාන්ලට, ISලාට විරුද්ධව කටයුතු කරන්නේ. ඔහු කියන්නේ කාබුල් එයාර්පෝට් එකට ගහපු එකට කොරාසාන්ලා විතරක් නෙමෙයි තලිබාන්ලා අතර ඉන්න අන්තවාදී අදහස් ඇති හඛානි කියන සංවිධානයත් සම්බන්ධයි කියලා”

හඛානි සහ අබු හින්ද්

“ඔය හඛානිලා තමයි කාබුල් අල්ලන්නත් තලිබාන්ලා එක්ක හිටියේ කියලා කියන්නේ. ඔය හඛානිලගෙන් හතර දෙනෙක් තලිබාන් ආණ්ඩුවේ ඉන්නවා ඉතාම බරපතළ අමාත්‍යංශ හතරක මේ වෙද්දී තලිබාන් ආණ්ඩුව ඇතුළේ තනතුරු දරමින්.

තලිබාන්ලා ජාතිකවාදී සංවිධානයක් වුණත් හඛානිලා සිහින රාජ්‍යයේ තවම ඉන්නේ. මේ කණ්ඩායමේ නායක ජලීල් හඛානිගේ හිසට මේ වෙද්දී ඇමරිකාව ලංසු තියලා තියෙන්නේ ඩොලර් මිලියන 5ක්. කොහොම වුණත් මේ ජලීල් හඛානි මේ වෙද්දී කාබුල් නගරයේ ආරක්ෂාව බාර ප්‍රධානියා හැටියට වැඩ කරනවා.

2020 වසරේ කාබුල් නගරයේ එක කොටසකට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරය මෙහෙයවන්නේ ඉන්දියානු ජාතිකයෙක් වෙච්ච අබු හින්ද් කියන කෙනා. මිනිහා ඉන්දියාවේ කේරළයේ කෙනෙක්. ඔය කාබුල්වලට ගහන්නේ ඉන්දියානුවන් වැඩිම ඉන්න ප්‍රදේශයකට. කේරලයේ බලහත්කාරයෙන් ආගම් වෙනස් කිරීම යටතේ හින්දු ආගම අත්ඇරලා ඉස්ලාම් දහම වැළඳ ගත්ත කෙනෙක්. ඒ සාම්ප්‍රදායික ඉස්ලාම් ආගම නෙමෙයි වහබ්වාදය”

තත්ත්වය බරපතළයි

“කොහොම හරි පාස්කු ප්‍රහාරය ගැන මුල්ම තොරතුර එන්නෙත් රෝ සංවිධානය හරහා කේරළයෙන්. එතකොට සහරාන් ඇතුළු කල්ලිය කේරළය එක්ක ඍජුව සම්බන්ධයි. එතකොට බලන්න අපේ රටේ නැගෙනහිර පළාතත්, ඉන්දියාවේ කේරළයත්, ඇෆ්ඝනිස්තානයේ කාබුල් නගරයත් එකට යා වෙන හැටි. ඒ නිසා දැන් තත්ත්වය බරපතළයි. 

මේ වෙද්දී ඇෆ්ඝන් ජනතා ආණ්ඩුවට අනියුක්ත හමුදා සෙබලුන් ලක්ෂ තුනක් විතර තලිබාන්ලා හමුදාවෙන් ඉවත්කරලා. දැන් ඔවුන් ඉන්නේ තලිබාන්ලා එක්ක තරහින්. ඒ නිසා මේ පිරිස IS කොරාසන්ලට එකතුවෙන්න පුළුවන්. ඔවුන් වහබ්වාදයට අකමැති වුණත් මේ වෙලාවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා IS වැළඳ ගන්න පුළුවන්”

ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක්

මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකාවට මෙන්ම දකුණූ ආසියානු කලාපයට ද ත්‍රස්තවාදී බලපෑම් එල්ල වීමේ අවධානම සුළු කොට තැකිය නොහැකි බව ජයකොඩි මහතා පවසනවා. මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

“ඉදිරියට දකුණු ආසියාවට තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් අභියෝගය සුළු නෑ. විශේෂයෙන් අපිටත් එහෙමයි. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන වෙනදට වඩා අවධානයෙන් ඉන්න වෙනවා”

Rate this item
(3 votes)
Last modified on Sunday, 31 October 2021 14:28