April 27, 2024

ඉන්දීය යුද ලොක්කන් ලංකාවේ! යුද නෞකා සෙබළු රැගෙන එයි!! සිදුවෙන්න යන දේ හෙළිවෙයි

ඉන්දීය නාවික හමුද‍ාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා 6ක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණුවීම් කටයුතුවල නිරත වීම සඳහා 2021 ඔක්තෝබර් 24 වන දින කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත ළඟා වුණා.

පළමු පුහුණු බලඝණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කපිතාන් අෆ්ටබ් අහමඩ් ඛාන් විසින් මෙම නෞකාහි නායකත්වය උසුළනු ලබනවා.

ඉන්දීය නාවික හමුදාවේ නෞකා මෙවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණියේ පළමු වරට වන බැවින් මෙම සංචාරය ද්විපාර්ශවික සබඳතා ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් ද වනවා.

INS මගර් (Landing Ship Tanker), සහ ශර්දුල් සහ ගැඹුරු මුහුදු මුර සංචාර නෞකාවක් වන INS සුජාතා යන නෞකා කොළඹ වරායේ ද යාත්‍රා පුහුණු නෞකාවන් වන සුදර්ශිනි සහ තරංගිනි සහ ඉන්දීය වෙරළාරාක්ෂක බලකායේ වික්‍රම් යන නෞකාවන් ත්‍රිකුණාමලය වරායේ මේ වන විටත් නැංගුරම් ලා තිබෙනවා.

නිලධාරීන් 57 දෙනෙක්, කැඩෙට් නිලධාරීන් 153 දෙනෙක්, NCC කැඩෙට් නිලධාරීන් 10 දෙනෙක් සහ නාවිකයන් 530 දෙනෙක් මෙම සංචාරයට සහභාගී ‍වී සිටිනවා.

මෙම සංචාරය අතරතුර නෞකා කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් අතර විවිධ වෘත්තීමය, පුහුණු, සංස්කෘතික සහ ක්‍රීඩා අන්තර්ක්‍රියා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම නෞකා 2021 ඔක්තෝබර් 28 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇති.

දකුණු නාවික විධානයේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චව්ලා මහතා ද මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම විශේෂ සිදුවීමක් ද වෙනවා.

වයිස් අද්මිරාල් අනිල් කුමාර් චව්ලා ශ්‍රී ලංකාවේ ඉහළ පෙ‍ළ නායකයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර කොළඹ, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන ප්‍රදේශයන්හි සංචාරය කිරීමටද නියමිතයි.

එතුමා එම ප්‍රදේශයන් හි ප්‍රධාන මූලස්ථාන සමඟ විවිධ අන්තර්ක්‍රියාවන් පැවැත්වීමට නියමිත අතර ත්‍රිකුණාමලය නාවික සහ සමුද්‍රීය ඇකඩමියේ සංචාරයක නිරත වීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

වයිස් අද්මිරාල් චව්ලා මහතා ඉන්දීය නාවික හමුදාවේ පුහුණු විධානයේ ප්‍රධානීත්වය ද උසුළන බැවින් සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ දෙරටට පොදු කරුණු සහ පුහුණු කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

යාත්‍රා නෞකා දෙකක් ද ඇතුළු නෞකා 6කින් සමන්විත පළමු පුහුණු බලඝණය ඉන්දියාවේ කීර්තිමත් දකුණු නාවික විධානයට අයත් වෙනවා.

පළමු පුහුණු බලඝණයේ නෞකා අවසාන වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2015 වසරේදී වන අතර නිලධාරීන් සහ යාත්‍රිකයන් සඳහා සියළු නාවික පුහුණුවීම් සිදු කරන්නේ ඉන්දීය නාවික හමුදාවේ පුහුණු විධානය වන දකුණු නාවික විධානය විසින්.

මිත්‍රශීලී රටවල නාවික හමුදාවන් සඳහා පුහුණුවීම් ද මෙම නාවික විධානය විසින් සිදු කරනු ලබනවා.

පුහුණුවීම් සඳහා ඉතා ශක්තිමත් ගමනාන්තයක් වන ඉන්දීය නාවික හමුදාව පසුගිය දශක හතර තුළ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් විදෙස් අභ්‍යාසලාභීන් 11,000කට අධික පිරිසක් පුහුණු කර ඇති අතර 2021 ඔක්තෝබර් 24-28 වන දිනවල ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරත වයිස් අද්මිරාල් අනිල් කුමාර් චව්ලා මහතා දකුණු නාවික විධාන‍යේ ප්‍රධාන අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කරනවා.

පුහුණු වීම් ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාවයේ ශක්තිමත් සහ දිගු කාලීන අංශයක් වී ඇති අතර මෙම සංචාරය ‍එම සමීප සබඳතාවය තවදුරටත් වැඩි දියුණු කිරීමට දායකත්වය ලබා දෙනු ඇති බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසා සිටියේ.

දෙරට ජනතාව අතර සබඳතාවය ඉහළ නැංවීම සඳහා අග්‍රාමාත්‍ය න‍‍රේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව මෙම සංචාරය දෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන් අතර පවතින සහෝදරත්වය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මනා පිටිවහලක් වනු ඇති බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසා සිටියා.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 October 2021 15:11