April 28, 2024

ටියුෂන් දෙන්න යැයි කියා ගිය සිසුවියගේ සිරුර දින 03කට පසුව පාළු නිවසකින් හමුවෙයි (PHOTOS)

හත් හැවිරිදි දැරියකට ඉගැන්වීම් සඳහා ගිය 14 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් දින තුනකට පසු ඊයේ (09) දිනයේ  පස්වරුවේ දඹුල්ල කළෝ ගහඇල ප්‍රදේශයේ පාළු නිවසක තිබියදී සොයා ගත් බව දඹුල්ල පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ  දඹුල්ල අතුපාරයාය පදිංචි බුද්ධිනී පියුමාලි  නැමැති කන්දලම් ඩිඑස් සේනානායක විදුහලේ 09 වැනි වසරේ ඉගෙනුම ලබන දියණිය බව හෙළි කරගෙන තිබෙනවා.

අභිරහස් මරණයට පෙර කතාව

පසුගිය 06 වන දින මෙම දියණිය දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි නිවසට හිතවත්කම් කියන පුද්ගලයෙකුගේ නිවසේ සිටින හත් හැවිරිදි  දියණියකට ඉගැන්වීම් සඳහා රැගෙන යන බව පවසමින් අදාළ හත් හැවිරිදි දියණිය සහ ඇයගේ සුළු පියා අතුපාරයාය ට යතුරුපැදියකින් පැමිණි දැරිය රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙම දැරිය අතුරුදන් බවට පසුගිය 08 වැනිදා මියගිය දැරියගේ මව වන එච්. ඒ. චන්ද්‍රා ජයසේකර යන අය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

පොලිස් පරික්ෂණ ඇරඹෙයි

එම පැමිණිල්ල පිළිබඳව දඹුල්ල පොලිසියේ වැඩ බලන  මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  එච්. එම්. එස්. කරුණාතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදු කරමින් සිටියදී ඊයේ (09) දිනයේ පෙරවරුවේ දඹුල්ල කලෝගහ ඇල  ප්‍රදේශයේ පාළු නිවසකින් දුගඳක් වහනය වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී යම්කිසි අයෙකුගේ මළ සිරුරක් ඇඳක් මත ඇති බව සැකයට බදුන් වීමත් පසුව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත එම දොරගුළු විවෘත කොට පරික්ෂා කර බැලූ බව පොලීසිය පවසා සිටියා.

මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි, දොරගුළු කැඩූ නිවෙස් මතුවූ කතාව

වැඩ බලන මහේස්ත්‍රාත්  එම්. ඒ. අමානුල්ලා මහතා ඇතුළු කණ්ඩායමක් ස්ථාන පරීක්ෂා කර බැලීමේදී එම පාළු නිවසේ ඇඳක් මත රෙදි කැබලි වලින් ඔතා තිබූ මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසා සිටියා.

මළ සිරුර පරික්ෂා කිරීමේදී ඇයගේ උඩුකය  ඇඳුම් සිරුරෙන් ඉවත් කර තිබූ බවට අනාවරණය වී තිබුණු අතර මියගොස් ඇත්තේ තමන්ගේ දියණිය බව  අතුරුදහන් වූ දියණිය ගේ මව හඳුනා ගත් බව පොලිසිය පවසා සිටියා.

පසුව පොලිසිය කඩිනමින් මෙම දියණිය රැගෙන ගිය බව කියන පුද්ගලයා පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු පදිංචි නිවෙස් වලට ගියද ඔහු සහ බිරිඳ දියණිය ප්‍රදේශයෙන් අතුරුදහන් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මියගිය දියණිය දැරියගේ දේහය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අනුව ඇයගේ මරණ පරීක්ෂණ කටයුතු හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත බව  රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

“යන්න බෑ කියද්දී එක්කගෙන ගියා” මව හෙළි කරන කතාව

"...මට දියණියන් තුන් දෙනෙක් ඉන්නවා. මේ නැති වෙලා ඉන්නේ බාල දියණිය. වැඩිමහල් දියණියගේ යාළුවෙකුගේ දරුවෙකුට ගැන්වීම් සඳහා හබරත්තාවල ප්‍රදේශ්යට තමයි එක්කගෙන ගියේ. මේ අය මීට කළිනුත් අපේ ලොකු දුවත් එක්ක සබඳකම් පවත්වාගෙන තිබුණා, ඒ දෙන්නා එක පන්තිවල යාලුවෝ එයාගෙ දුවට උගන්නන්න කියලා අවස්ථා කිහිපයක්ම එක්කන් ගියා..”

"..පහුගිය 06 වෙනිදා උදේ ලොකු දුවගේ යාළුවාගේ සැමියා යතුරුපැදියකින් එයාගේ චුටි දුවත් එක්ක ඇවිල්ලා දුවට උගන්නන්න උගන්වන්න තියෙනවා  කියලා එක්කගෙන යන්න ආවා. අපේ දුව කිව්වා මට තුනට ඔන්ලයින් පන්ති තියෙනවා ඒ නිසා යන්න බැහැ කියලා. 3 වෙනකොට නැවත ඇරලවන්නම් කියලා එයාව එක්කන් ගියා.."

"..පස්සේ හවස් වෙනකනුත් ආවෙ නැහැ. පහුවදාත් ආවේ නැති නිසා තමයි පොලිසියට පැමිණිළි කළේ. අපට හිතාගන්න බැහැ මොකද උනේ කියලා. මේ දුව අරන් ගියපු අපේ ලොකු දුවගේ යාළුවාගේ සැමියා කියන කෙනා අපි එතරම් අඳුරන්නේ නැහැ. දැකලා තියෙන්නෙත් දවස් කීපයයි තමයි .එයාව අඳුරන්නෙ දන්නෙ ලොකු දුව තමයි..."

අක්කාගේ මිතුරුකම හරහා ආ අපරාධකරුවන්

දැරියගේ වැඩිමහල් සොයුරිය වන කේ. එම්. කුමාරි රේණුකා යන අයගෙන් අප විමසීමක් කළා.

එහිදී ඇය කියා සිටියේ මෙවන් කතාවක්,

"..මගේ නංගි තමයි නැති වෙලා ඉන්නේ, මම පුංචි කාලේ ඉඳලා ඉස්කෝලෙ යන කාලෙ ඉඳල දන්න යාලුවෙක්ගෙ ගෙදරට තමයි  ගියේ. මගේ මහත්තයා වැඩ කරන්නෙත් යාලුවගෙ මහත්තයා වැඩ කරන තැන්මයි. අපි නිතර නිතර එයාලත් එක්ක ළඟකදි ඉඳලා කතාබ බහ කරලා දැන හඳුනාගෙන හිටියා..."

"..මීට පෙර දවසකුත් නංගී අපට කියන්නෙත් නැතුව මගේ යාළුවගේ මහත්තයා එක්ක  ත්‍රීවීල් එකකින් එයාලගේ දුවට  උගන්වන්න ගිහිල්ලා තිබුණා. මහත්තයා පස්සේ එයාව එක්ක ගෙන ආවා.."

"...අපි දෙන්නා එකට පහ වසරෙ ට යනකං ඉස්කෝලේ ගියා ශිෂ්‍යත්වය පාස් වෙලා එයා දඹුල්ලට ගියා. මම  ඩී. එස්. සේනානායක කණ්ඩලම ඉස්කෝලේ ඉගෙන ගත්තා. පහුකාලීනව අපි මුන ගැහුනෙ නෑ පස්සේ මගේ මහත්තයා වැඩපළට ගිහිල්ලා එතනදි තමයි නැවත අපි හඳුනා ගත්තේ. හඳුනා ගත්ත නිසා පරණ මිතුරුකම ආපහු අලුත් උනා, අපි ඒ අයගේ ගෙවල්වලට ගියා ඒ අයත් අපේ ගෙවල්වලට ඇවිල්ල හිතවත් වුණා..."

 "නංගී මේ අහල පහල දරුවන්ටත්  ප්‍රශ්න පත්තර දීපුවාම  කියලා දෙන්න ගෙවල්වලට යනවා. ඒ නිසා තමයි යාළුවගේ දුවටත් උගන්වන්න යන්න තීරණය කළේ.."

අපරාධකරුවන් හඳුනාගනී - අත්අඩංගුවට ගන්න මෙහෙයුම් ඇරඹෙයි

මෙම අතුරුදහන්ව සිටින පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ සහ දියණිය පිළිබඳව පොලිසිය  විශාල කරුණු ප්‍රමාණයක් හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙම කාන්තාව බාලවයස්කාර දැරියත් සමයේ අපයෝජනයකට ලක්ව දරුවෙකු පිලිසිද ගෙන ඇති බවත් පසුව එම් දරුවා සමඟ අතුරුදහන් ව සිටින පුද්ගලයා සම්බන්ධව වී එකට ජීවත් වන බවත් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ දරුවා රැගෙන ගිය බව කියන සැකකරුවන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිසිය පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඒ. එස්. කේ. බණ්ඩාර, දඹුල්ල වැඩ බලන මුලස්ථාන පොලිස් පරීක්ෂක එච්. එම්. එස්. කරුණාතිලක මහතා ඇතුළු අපරාධ අංශය නිලධාරින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි  පොලිස් පරීක්ෂිකා නිලුකා විජේසුන්දර යන නිලධාරීන් එක්ව පරික්ෂණයක් පවත්වනු ලබනවා.

(කාංචන කුමාර - දඹුල්ල)

Rate this item
(0 votes)
Last modified on Monday, 11 October 2021 11:37