May 15, 2024

ප්‍රධාන නගර 5ක මාර්ග තදබදයට විසඳුම්!

කොළඹ ඇතුළු දිවයිනේ සියළු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින අධික මාර්ග තදබදයට විසඳුම් ලෙස එම නගරවල මහාමාර්ග හා අධික තදබදයක් ඇතැයි හඳුනාගත් නගර පිවිසුම් මාර්ග හා විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සහ පාලම් ඉදිකිරීමේ විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව මෙම විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන කොළඹ, මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ ගම්පහ යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රථමයෙන් ආරම්භ කරන බවත් ඉන් අනතුරුව අනෙක් සියළුම දිස්ත්‍රික්කයන් හි මෙම මාර්ග මාර්ග සංවර්ධන වැඩසටහන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

විශේෂයෙන්ම දෛනික රාජකාරි වේලාවන් ආරම්භයේ දී හා අවසානයේ මෙම නගර වල පැය ගණනාවක ඇති වන මාර්ග තදබදය දෛනික ජන ජීවිතයට මහත් බාධාවක් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මෙම විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය ඉවත් කිරීම සදහා හඳුනාගත් මාර්ග 9 ක් සංවර්ධන කිරීමට සැලසුම් මේ වන විට සකස්කර අවසන්ය. එමෙන්ම ගම්පහ නගරය හා ඒ අවට පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා හඳුනාගත් මාර්ග 15 ක් ද මහනුවර නගරය හා ඒ අවට පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා හඳුනාගත් මාර්ග 12 ක් ද ගාල්ල නගරය ඒ අවට පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා හඳුනාගත් මාර්ග 8 ක් සහ ඉත්තෑපාන සහ මාදු ගග හරහා පාලම් 02 ක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල නගරයේ පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා අතුරු මාර්ගයක් ඉදිකිරීමටත්, වටරවුම් මාර්ගය සංවර්ධනය කිරීමටත් ඊට අමතරව යාංගල්මෝදර, අලව්ව, මහව සහ මුත්තෙට්ටුගල යන ප්‍රදේශ වල ගුවන් පාලම් ඉදිකිරීමටද මේ වන විට මූලික සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මෙම සියලුම මාර්ග පද්ධති වලට අදාල මාර්ග සංඥා පුවරු, ආලෝක සංඥා පද්ධතීන්, වටරවුම් යනාදියද මීට සමගාමීව සංවර්ධනය කිරිමට යෝජිතය.

Rate this item
(0 votes)

Related items