May 21, 2024

දැඩි රැකවල් මැද ඉෂාලිනිගේ දේහය නැවත ගොඩ ගනී (PHOTOS)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලිමෙන් ජීවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් නම් 16 හැවිරිදි දැරියගේ සිරුර අධිකරණ නියෝග මත ගොඩ ගැනිමේ කටයුතු අද (30) දිනයේ සිදු වුණා.

අද (30) උදැසන 9ට පමණ නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මියගේ සහ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ ඉදිරියේ දී දැරියගේ සිරුර ගොඩ ගැනීම සිදුකළා.

ඉෂාලිනිගේ සිරුර භූමදානය කර තිබුණේ හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භුමියේ.

නිරෝධායන සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව  විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ සිරුර ගොඩ ගැ‍නීමේ කටයුතු ආරම්භ කළ අතර සිරුර ගොඩ ගන්නා අවස්තාවේ මිය ගිය ඉෂාලිනිගේ දෙමව්පියන්ද පැමිණ තිබුණා.

දේහය ගොඩ ගන්නා අවස්ථාව දැක බලා ගැනිමට ඩයගම ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණ සිටියද එම අයට එම ස්ථානයට ළග නොවිමට පොලිසිය කටයුතු කර තිබූ බව ඒෂියන් මිරර් ප්‍රදේශීය වාර්තාකරු පවසා සිටියා.

ගොඩ ගන්නා සිරුර දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

දේහය ගොඩ ගන්නා අවස්ථාවේ ඡායාරූප පහතින්,

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Friday, 30 July 2021 11:36