May 17, 2024

කලකට පෙර රටේම කතාබහට ලක්වූ අයෙක් STF වෙතින් වෙඩි කයි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙකුට සීදූව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා මරණයට පත්ව ඇති බව සඳහන්.

සීදූව, අමන්දොළුව ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම අද (18) අළුයම 2.00ට පමණ සිදුව ඇති බව යි වාර්තා වන්නේ.

ලැබී තිබූ තොරතුරක් මත මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා එය නතරකරන ලෙසට පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් විසින් සංඥා කර තිබෙනවා.

එහෙත් අදාළ මෝටර් රථය එම අණ නොතකමින් දිගටම ධාවනය කර ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් එම මෝටර් රථය පිටුපස හඹා යාමට කටයුතු කර ඇති බව පැවසෙනවා.

එහි දී මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයා උත්සහ දරා ඇත්තේ එම රථය අතහැර පළා යාමට යි.

පළායාමට තැත් කළ පුද්ගලයාට විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එම අවස්ථාවේ දීයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ අදාළ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව සඳහන්.

අදාළ මෝටර් රථයේ තවත් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යි පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියා කර ඇත්තේ.

මේ අතර පසුව අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත් වූ තැනැත්තා ලලිත් වසන්ත පින්තු නමැත්තෙකු බවයි.

මොහු මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක්.

ඝාතන 06කට සහ සීදූව, වත්තල, රාගම, අකුරැස්ස සහ මාතර ආදී ප්‍රදේශවල සිදු වූ දරුණු අපරාධ රැසකට මොහු සම්බන්ධ බව පොලීසිය පවසනවා.

මේ අතර මීට කලකට පෙර මෙරට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, බන්ධනාගාර අධිකාරීවරයෙකු විසින් රැඳවියෙකු හට ශීතකරණයක් ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ සැපයූ සිද්ධියේ දී කතාබහට ලක් වූ බන්ධනාගාර රැඳවියා වන්නේ මෙම මියගිය පුද්ගලයා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 July 2021 13:00