May 14, 2024

ළමා දූෂණයක් නිසා ප්‍රසිද්ධ වූ කොටදෙණියාවෙන් තවත් ලිංගික අපරාධයක්

කොටදෙණියාව කියූ සැණින් තවමත් බොහෝ දෙනෙකුගේ මතකයට එන්නේ මීට වසර ගණනාවකට පෙර සිඟිති දැරියක් දූෂණය කර අමානුෂික ලෙස මරා දැමීමේ සිදුවීමයි.

එවන් කළු පැල්ලමක් එක් වී ඇති කොටදෙණියාව ප්‍රදේශයෙන් කාන්තාවකට ලිංගික අතවරයට පත් කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් පසුගිය දා වාර්තා වූවා.

අදාළ පුද්ගලයාට එල්ල වූ චෝදනාව වූයේ “වට්ස්ඇප්” දුරකතව මෙවලම මගින් වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් සිය නිරුවත පෙන්වා කාන්තාවකට ලිංගික අතවර කිරීම යි.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඇඟළුම් සේවිකාවක්.

මීගමුව, පිටිපන ප්‍රදේශයේ පදිංචි ඇය කොටදෙණියාව, කටුකෙන්ද ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බව සඳහන්.

මෙම ඇඟළුම් සේවිකාවට දින ගණනාවක සිට නොදන්නා දුරකතන අංකයකින් වට්ස්ඇප් ඇමතුම් ලැබී ඇති අතර ඒ හරහා නොදන්නා පුද්ගලයෙකු සිය නිරුවත පෙන්වීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ පුද්ගලයා දිගින් දිගටම ඇයව මේ ආකාරයෙන් හිංසනයට ලක් කොට ඇති අතර පසුව අදාළ තරුණිය කොටදෙණියාව පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත්තේ මෙම ඇමතුම් හරහා තමන් දැඩි අපහසුතාවයටත් ලැජ්ජාවටත් පත්වන බව සඳහන් කරමින්.

පොලීසිය සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස එලෙස වීඩියෝ ඇමතුම් හරහා සිය නිරුවත ප්‍රදර්ශනය කළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු කොටදෙණියාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්.

අත්අඩංගුවට පත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පසුගිය දා ක්‍රියා කළා.

වට්ස්ඇප් ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් නිරුවත පෙන්වා කාන්තාවකට ලිංගික අතවර කිරීමට සම්බන්ධ දුරකථනවල විශ්ලේෂණ වාර්තාවක් කොටදෙණියාව පොලිසියට ලබාදෙන ලෙස දුරකථන සමාගම් දෙකක කළමනාකරුවන්ට නියම කරන ලෙසටයි එහි දී අධිකරණය කොටදෙණියාව පොලිසියට නියෝග කර ඇත්තේ.

අධිකරණය විසින් කොටදෙණියාව පොලීසියට වැඩිදුරටත් නියම කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කර කරුණු වාර්තා කරන ලෙසට යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 July 2021 14:26