May 17, 2024

දරු ප්‍රසූතියේ වේදනාව නැති වෙන්නත් පෙර දරුවාට පහර දී ගිනි තැබූ මවක්!

කන්තලේ, පෙරාරු අංක 1 ප්‍රදේශයෙන් ඉතාමක් අමානුෂික සිදුවීමක් වාර්තා වෙනවා.

පෙරුරා ප්‍රදේශයේ පදිංචිව සිටින මවක් විසින් ඊයේ (12) පස්වරුවේ බිළින්ඳියක් ප්‍රසූත කර තිබුණා. නමුත් ඇය එම බිළින්ඳියට ජීවත් වන්නට ඉඩ ලබා දී තිබුණේ නැහැ.

ඒ අනුව අදාළ සැකකාර මව විසින් බිළින්ඳියගේ හිසට පහර දී ගිනි තබා තිබුණා.

තමන්ගේ මව විසින් සිය අලුත උපන් නැගණියට කරන අපරාධය වැඩිමහල් දරුවා විසින් දැක තිබෙනවා. පසුව එම දරුවා විසින් වහාම සිය මිත්තණිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

එම සිදුවීම සම්බන්ධයෙන් දරුවන්ගේ මිත්තණිය කියා සිටියේ මෙවන් කතාවක්,

“මම පොලීසියට හරි පල්ලියට හරි කියලා දරුවා හදාගන්නවානේ… ඇයි මැරුවේ.. දරුවාව ගහට හේත්තු කරන් ඉන්නවා මං දැක්කා.. මම කට්ටිය එක්කරන් එන්න ගියා.. ආපහු එද්දී දරුවා මරලා දාලා..”

මිත්තණිය ගම්වාසීන් රැස් කරගැනීමට සමත්ව තිබුණත් පහර දී තිබූ දරුවාව මව විසින් ගිනි තබා තිබුණා. 

ඇය පසුව ප්‍රදේශවාසීන් රැස් වෙන බව දැක ගිනි ගන්නා බිළිඳු මළ සිරුර වෙනත් තැනකට විසි කර දමා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම සැකකාර කාන්තාවගේ සැමියා වසර 3 1/2ක පමණ සිට විදෙස් ගතව සිටින බවත්, මෙම අලුත උපන් බිළින්ඳිය සැකකාරිනිය විසින් ඇති කරගත් අනියම් පෙමක් නිසා උපත ලද බවත් පොලිස් පරික්ෂණවලින් හෙළිව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් ප්‍රකාශ කර සිටියා.

එහීදි ඔහු සඳහන් කර සිටියේ කන්තලේ පොලීසිය විසින් මෙම සිදුවීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බවයි. දරුවා උපන් විගසම මෙලෙස පහර දී ගිනි තබා ඇති බවත් මුලික පොලිස් පරික්ෂණවලින් හෙළිව ඇති බවට මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

අදාළ අපරාධය සම්බන්ධයෙන් සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිය ගිය දරුවා සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණයක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිත බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 July 2021 14:46