May 18, 2024

නැවෙන් වෙරළට ආ බඩු ගත් පිරිසක් පොලිස් කූඩුවේ (PHOTOS)

image host

බඩු ගන්න වෙරළට ආ අයට වැඩ වරදියි

ගිනි ගනිමින් පවතින “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සිට ගොඩබිමට ගසාගෙන ආ ද්‍රව්‍යයන් එක්රැස් කළ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

පුද්ගලයින් 08 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මීගමුව, පමුණුගම සහ දුන්ගල්පිටිය යන ප්‍රදේශවලින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එකතු කළ භාණ්ඩ පැටවූ ලොරි රථයක් ද මෙහි දී හමු වූ බව පැවසෙනවා.

සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති මෙම අවස්ථාවේ නිරෝධායන නීතීන්ට පටහැණිව කටයුතු කිරීම එක් පසෙකින් වරදක් බවත්, අනෙක් පසින් මෙම ද්‍රව්‍ය පිළිබඳ අනතුරු අඟවා තිබූ පසුබිමක මිනිස් ජීවිතවලට පවා අන්තරාදායී විය හැකි ලෙස මෙම ද්‍රව්‍යයන් එක් රැස් කිරීම වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව වෙරළට එක් රැස් වූ පුද්ගලයින් මෙන්ම එලෙස එක් රැස් වී වෙරළට පැමිණි භාණ්ඩ එකතු කර රැගෙන ගිය අනෙක් පුද්ගලයින් ද සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ඔහු සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් මේවන විටත් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු පවසා සිටියා.

ගිනිගන්නා නෞකාවේ ගබඩා කර තිබූ කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඊයේ (26) මුහුදට වැටීමත් සමග ඒවා තුළ ගබඩා කර තිබූ ද්‍රව්‍ය රැසක් වෙරළට ගොඩ ගැසීම සිදු වුණා.

සාමාන්‍ය භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය, සුවඳ විළවුන්, ප්ලාස්ටික් සෑදෑමට ගන්නා අමුද්‍රව්‍ය ආදිය මෙලෙස ගසාගෙන ආ අතර ඒවා නැවෙහි ගබඩා කර තිබූ විවිධ රසායනික ද්‍රව්‍ය සහ නැවෙන් නිකුත් වූ තෙල් සමග මිශ්‍ර වී තිබුණා.

නෞකාවේ සිට වෙරළට ගොඩගසන කිසිම දෙයක් ස්පර්ශ නොකරන ලෙස පෙරේදා (25) දින සිට බලධාරීන් මහජනතාව වෙත දැනුම් දුන්නේ නෞකාවෙහි කන්ටේනර්වල විෂ සහිත රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් එවන් අනතුරු ඇඟවීම් මධ්‍යයේ, පවතින සංචරණ සීමා ද නොතකමින් ඊයේ (26) දහවල් උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වෙරළ තීරයට එක් රැස් වූ විශාල පිරිසක් මෙලෙස එම ද්‍රව්‍ය එකතු කරමින් සිටියා.

වෙරළට ගොඩ ගසා ඇති ආහාර ද්‍රව්‍ය සුවඳ විලවුන් ආදිය පමණක් නොව ප්ලාස්ටික් සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය පිරවූ ගෝනි වැනි දෑ පවා ජනතාව විසින් එක් රැස් කර නිවෙස්වලට රැගෙන යන ආකාරය දක්නට ලැබුණා.

තවත් තැන්වල දක්නට ලැබුණේ ඇතැම් පුද්ගලයින් වෙරළට ගොඩ ගසා ඇති බිස්කට්, චොක්ලට් සහ අනෙක් ආහාර ද්‍රව්‍ය එකතු කර අනුභව කරන ආකාරය යි.

වෙරළට ආවොත් ජීවිතයත් අනතුරේ!

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, මේවන විට නෞකාව තුළ තිබූ කන්ටේනර් සහ ඒවා තුළ ගබඩා කර තිබූ භාණ්ඩ මිශ්‍ර වී ඇති බැවින් අන්තරායකර භාණ්ඩ සහ අන්තරායකර නොවන භාණ්ඩ වෙන් කොට හඳුනාගැනීමේ හැකියාවක් නොමැති බවයි.

එම නිසා වෙරළට පාවී එන බෑග්, පෙට්ටි ආදිය විවෘත කිරීම මෙන්ම ඒවා එක් රැස් කිරීම හරහා තම ජීවිතයට පවා හානි සිදු විය හැකි බව ඇය පවසනවා. 

පරිසරයට, සමුද්‍ර ජීවීන්ට සහ වෙරළ තීරයට සිදුව ඇති හානිවලට අමතරව මෙවැනි ක්‍රියා හරහා අනවශ්‍ය ජීවිත හානියක් සිදුවිය හැකි බව ද ඇය අවධාරණය කළා.

බඩු අහුලන්නන් ඉවතට - ආරක්ෂක අංශ වෙරළට

බලධාරීන් මෙලෙස කොපමණ උපදෙස් ලබා දුන් නමුත් ජනතාව ඒවාට කන් නොදී දිගින් දිගටම වෙරළ කරා පැමිණෙන ආකාරයක් ඊයේ (26) දක්නට ලැබුණා.

උපදෙස් නොතකා ගිනිගන්නා නෞකාවේ සිට වෙරළට පාවී එන ද්‍රව්‍ය එක් රැස් කිරීමට මෙලෙස ජනතාව පැමිණීම වැළැක්වීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව වහාම එම ප්‍රදේශවලට පැමිණියේ ඒ අනුවයි.

ඔවුන් මේවන විට වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමට ක්‍රියා කර තිබෙනවා.

Image

සයුරත් වෙරළත් විනාශයි!

ගිනිගන්නා නෞකාවෙන් නිකුත් වන රසායනික ද්‍රව්‍යයන් සහ තෙල් මේවන විට මෙරට බටහිර වෙරළ තීරය විනාශ කරමින් තිබෙනවා.

 

මේ හේතුවෙන් සාමාන්‍යයෙන් නෙතට සුන්දර දසුනක් මවන වෙරළ තීරයන් අද දක්නට ඇත්තේ තද කළු පැහැයෙන්.

 

එමෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ඉතා කුඩා කැබලි වශයෙන් වෙරළ තීරයන් පුරා විසිර පවතිනවා.

 

මේවා නොදිරන ද්‍රව්‍යයන්වන බැවින් වෙරළාශ්‍රිත පරිසරයට මෙන්ම සාගරයට ද දැඩි විනාශකාරී බලපෑමක් එල්ල වී තිබෙනවා.

Image

 

තවත් පිළිස්සුණු අපද්‍රව්‍ය ද විශාල වශයෙන් සාගරයේත් වෙරළේත් විසිරී තිබෙන අයුරු දක්නට හැකියි.

රසායනික ද්‍රව්‍ය සහ තෙල් පමණක් නොව කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ කන්ටේනර් දක්වා වූ ඝණ අපද්‍රව්‍ය කොටස් ද මේවන විට වෙරළ වෙත ගොඩගසා තිබෙනවා.

මේ අතර නෞකාවේ සිට තෙල් සහ තවත් අපද්‍රව්‍ය තවදුරටත් වෙරළ වෙත පැමිණිය හැකි බව පැවසෙනවා.

විශේෂඥයින් සැක කරන්නේ කොළඹ සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙම ද්‍රව්‍ය ගොඩ ගැසීමට ඉඩ ඇති බවයි.

මෙම වෙරළ තීරය ආශ්‍රිතව වෙසෙන පුද්ගලයින්ට උපදෙස් දී ඇත්තේ මෙම ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ යෙදීමෙන් වළකින ලෙසට යි.


අමාරුම වැඩේ ඇරඹෙයි

මෙම සිදුවීමෙන් මෙරට වෙරළ තීරයටත් ඒ ආශ්‍රිතව දිවි ගෙවන සත්ත්ව සහ මිනිස් ප්‍රජාවටත් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (26) පස්වරුවේ ආරම්භ වුණා.

මෙය ඉතා අසීරු කාර්යයක් වී ඇති බව ද වාර්තා වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ තවත් ආයතන මෙන්ම ස්වෙච්ඡා කණ්ඩායම් ද එක්ව මෙය සිදු කරනු ලබනවා.

Image

ලොකු තෙල් කාන්දුවක් වුණොත්?

මේ අතර සාගර ජලය වෙත මහාපරිමාණ තෙල් විසිරීමක දී එයින් සිදුවන පරිසර හානිය අවම කිරීම පිණිස ගන්නා ක්‍රියාමාර්ග ද ගැනීම මේවන විට අපහසු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපයේ පවතින දැඩි ප්‍රචණ්ඩකාරී කාලගුණික වාතාවරණය ඊට හේතුව යි.

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති අඩු පීඩන තත්ත්වය මේවන විට සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර ("යාස්" සුළි කුණාටුව) එය මේවන විට බෙංගාල බොක්කෙන් උතුරු දෙසට ගමන් කරමින් තිබුණත් එහි වක්‍ර බලපෑම මෙරට සාගර කලාපයට ද බලපා තිබෙනවා.

මෙවන් කාලගුණික තත්ත්වයක් මත මහාපරිමාණ තෙල් විසිරීමක් සිදුවුව හොත්  නෞකාව වටා කලාපයේ ආරක්ෂිත පියවර ගැනීමට නොහැකි බවත් සිදු කළ හැක්කේ වෙරළ පිරිසිදු කිරීම පමණක් බවත් විශේෂඥයින් පවසනවා.

එවැනි විශාල පරිසර හානියක් සිදුවුවහොත් එය අවම කරගැනීමට අවශ්‍ය පිරිස් සහ භාණ්ඩ මේවන විටත් සූදානමින් පවතිනවා.

මෙහි දී සංවේදී පරිසර පද්ධති සහ ධීවර/සංචාරක කර්මාන්තය කෙරෙහි අතිශය තීරණාත්මක ස්ථාන කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවන බව සඳහන්.

Image

නැව නිවන්න බෑ!

මේ අතර ගින්න පාලනය කිරීමට හැකි තත්ත්වයක මේවන විටත් නොමැති බවත් ගින්න පාලනය කිරීමට ඇති ඉඩකඩ ද ඉතාමත් අඩු බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම පවතින දැඩි සුළං සහිත කාලගුණයත් සමග ගින්න විශාල ලෙස වර්ධනය වෙමින් පැතිරෙමින් පවතිනවා.

ගින්නෙහි විශාලත්වය නිසාම එය ආසන්නයට යාමට ද අපහසු වී තිබෙනවා.

ඒ අනුව සම්පූර්ණ නෞකාවම දැවී යාමෙන් අනතුරුව ස්වභාවිකව එය නිවී යනතුරු ගින්න පවතිනු ඇති බවට මත පළ වී තිබෙනවා.

මේ අතර නෞකාවෙහි බඳ කොටස සම්පූර්ණයෙන්ම ගිනිගෙන අවසන් බවත්, මේවන විට ඉතිරිව පවතින්නේ එහි අවසන් කොටස බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කරනවා.

නිවන්න බැරි නම් ඇදගෙන යන්න බැරිද?

නෞකාවට සවි කළ රැහැන් මගින් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමට මීට පෙර සැළසුම් කර තිබුණත් පවතින වාතාවරණය යටතේ එයට ලඟා විය නොහැකි නිසා නෞකාවට රැහැණක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා.

මේවන විට සම්පූර්ණ නෞකාවම පාහේ දැඩි ලෙස ගිනිගනිමින් පවතින අතර ගින්නේ ප්‍රබලත්වය හේතුවෙන් එය වෙත ලඟා වීමට නොහැකි වී ඇති බවයි දයා රත්නායක මහතා සඳහන් කළේ.

20 වැනි දා ආරම්භ වූ මෙම ගින්න මෙයට පෙර යම් තාක් දුරකට පාලනය කර තිබූ අතර ඒ මොහොතේ එය ඇදගෙන යාම සඳහා අවධානය යොමුව තිබුණත්, ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීමක් මත එම ක්‍රියාවලිය කඩිනමින් කිරීමට නොහැකි වූ බව ද ඔහු පැවසුවා.

විමර්ශනය කිරීමෙන් අනතුරුව අදාළ විදෙස් විශේෂඥයින් පවසා ඇත්තේ නෞකාවේ පවතින උෂ්ණත්වය හා එහි ගබඩා කර ඇති රසායන ද්‍රව්‍ය අනුව පිපිරීමක් සිදු වීමේ අවදානමක් පවතින බවයි.

එම නිසා නෞකාව වෙත ලඟාවීම අනතුරුදායක බව ඔවුන් පවසා තිබෙනවා.

මේ හේතුවෙන් නෞකාව ඇදගෙන යාමේ ක්‍රියාවලිය සංකීර්ණ වූ බවත්, පෙරේදා (25) නෞකාවේ පිපිරීමක් සිදු වූයේ මෙවැනි පසුබිමක් මත බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොක්කක් දමන්න වෑයමක්!

ගිනිගනිමින් පවතින “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවට දුර සිට රැහැණක් සම්බන්ධ කරමින් එය ශ්‍රී ලංකාවට එපිටින් වූ ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා සැළසුමක් සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඒෂියන් මිරර් වෙත අනාවරණය කළා.

ඔහු මේ බව පවසා සිටියේ අප කළ විමසීමක දී.

නෞකාවට ලඟා විය නොහැකි නිසා දුර සිට “කොක්කක්” වැනි උපාංගයක් භාවිත කර නෞකාවට රැහැණක් සම්බන්ධ කිරීම පිළිබඳව මේවන විට අවධානය යොමු වී ඇති බවත්, එලෙස රැහැණක් සම්බන්ධ කළ වහාම එය ආරක්ෂිතව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමට කටයුතු කරන බවත් දයා රත්නායක මහතා ප්‍රකාශ කළා.

නෞකාවේ තිබුණේ මොනවද?

මෙම නෞකාව තුළ පවතින සාමාන්‍ය භාණ්ඩවලට අමතරව අන්තරායකර භාණ්ඩ ලෙස වර්ග කර ඇති භාණ්ඩ ද පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

එම අන්තරායකර භාණ්ඩ ලෙස නයිට්‍රික් අම්ල, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් මෙතොක්සයිඩ් සහ වයිනයිල් ඇසිටේට් ආදී විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබෙන බව යි ඇය පැවසුවේ.

මේවායින් බොහොමයක් ප්‍රතික්‍රියාශීලී බවින් ඉතා ඉහළ බව යි සභාපතිනිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේවාට අමතරව රූපලාවන්‍ය නිෂ්පාදන සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද නෞකාව තුළ පවතින බවත්,  ඒවා ද ඉතා ප්‍රතික්‍රියාශීලී බවත් ඇය පවසනවා.

අන්තරායකර භාණ්ඩ ලෙස නොගැනුනත්, ගින්නක දී අතිශය භයානක ද්‍රව්‍ය ලෙස සැළකිය හැකි තෙල් වර්ග වැනි දෑ ද නෞකාව තුළ ගබඩා කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය අනාවරණය කළේ.


නැව දෙකට කැඩෙන්න යයි!

ගිනි ගනිමින් පවතින X-PRESS PEARL නෞකාව දෙකට කැඩී වෙන් වීමේ අවදානමක් මතුව ඇති බව නාවික විශේෂඥයින් පවසනවා.

යම් හෙයකින් එසේ නෞකාව දෙකඩ වුවහොත් එය සාගර පතුලේ ගිලී යනු ඇති.

එහි දී මේවන විට පවතින දැඩි ගින්න නිවී යනු ඇති නමුත් නෞකාවේ ඇති ඉන්ධන සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සාගර ජලයට මුසු වීම සිදුවීම අනිවාර්යයයි.

නැව ගිලුනොත් මොකද වෙන්නේ?

නෞකාව ගිලී ගියහොත් ඒ හරහා විශාල පරිසර හානියක් සිදු විය හැකි බවට විශේෂඥ කණ්ඩායම් අනතුරු අඟවනවා.

එමෙන්ම එසේ සිදුවුවහොත් එය මෑත ඉතිහාසයේ මෙරට සිදුවන දරුණුතම පරිසර ඛේදවාචකයක් වනු ඇතැයි පරිසරවේදීන් බිය පළ කරනවා.

නෞකාවෙන් තෙල් කාන්දුවක් හෝ රසායනික කාන්දුවක් මහාපරිමානයෙන් ඇති වුවහොත් එම තෙල් හෝ රසායන ද්‍රව්‍ය වෙරළ කරා ළඟාවීම අනිවාර්යෙන් සිදුවනක්.

එවැන්නක් සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට මත පළ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තල්මසුන්, ඩොල්ෆීන් සහ කැස්බෑවුන් ආදී එකී නොකී වටිනා ජෛව සම්පත් රැසකට වාසභූමි සපයන මුහුදු ප්‍රදේශයක් වන බැවින් එම සතුන්ගේ ජීවිත පිළිබඳ ද මෙහි දී ගැටළුවක් මතුවනවා.

එමෙන්ම වෙරළාශ්‍රිතව පිහිටි සංවේදී පරිසර පද්ධති රැසක් මෙරට වටා පිහිටා ඇති අතර මෙවැනි පරිසර හානියක දී සිදුවිය හැකි හානිය සුළු පටු නොවනු ඇති.

ජලජ ජීවීන්ට මෙවැනිනකින් දැඩි හානි සිදුවන බැවින් එය ධීවර කර්මාන්තයට ද එල්ල විය හැකි තර්ජනයක්. 

එමෙන්ම ලොව සුන්දරතම වෙරළ තීර ලැයිස්තු අතර පවතින මෙරට වෙරළ තීර මත තෙල් තට්ටු තැන්පත් වුවහොත් එය සංචාරක කර්මාන්තයට දිගුකාලීනව බලපෑම් ඇතිකිරීමට සමත්වනු ඇති. 

එමෙන්ම මෙවැන්නක් හමුවේ ශ්‍රී ලංකා වාසීන්ට සෞඛ්‍ය ගැටළු පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා.

මෙම නෞකාව තුළ ඉන්ධන ටොන් විශාළ ප්‍රමාණයක් ඇති බවයි පැවසෙන්නේ.

දුමත් ගැටළුවක්

නෞකාවේ පවතින ගින්නෙන් මේවන විටත් විශාල කලු දුමාරයක් අහසට නිකුත් වෙමින් පවතිනවා.

මේවන විට පවතින සුලං ප්‍රවාහයත් සමගින් මෙම දුමාරය සහ නිකුත්වන විෂ අංශු දිවයින හරහා ගමන් කිරීමට ඉඩකඩ පවතින බැවින් ඒ හරහා මෙරට ජනතාවට සෞඛ්‍ය හානි ද ඇති වීමේ අවදානමක් මතුව තිබෙනවා.

විශේෂයෙන් ශ්වසන අපහසුතා පවතින පුද්ගලයින්ට මින් ඇතිවිය හැකි බලපෑම වැඩි බව පැවසෙනවා.

එමෙන්ම එවැනි කෙටිකාලීන බලපෑම් මෙන්ම දැවී යන රසායනික ද්‍රව්‍ය හරහා විවිධ විෂ අංශු ආශ්වාස කිරීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු පවා ඇති විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරනවා.

Image

මොකක්ද මේ නැව?

එක්ස්ප්‍රස් පර්ල් යනු සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා නෞකාවක්.

මෙය පැරණි නැවක් නොවන අතර 2021 එනම් මෙම වසරේ දීම නිෂ්පාදනය කර ඇති මෙහි දිග මීටර 186ක්වන අතර පළලින් මීටර 34ක්.

රසායනික ද්‍රව්‍ය ඇතුළු තවත් දෑ ගබඩා කළ කන්ටේනර් 1,486ක් මෙය තුළ පටවා තිබුණා.

පළමු ගින්න

කන්ටේනර් තොගය ද රැගෙන ඉන්දියාවේ හසීරා වරායේ සිට නෞකාව කොළඹ වරායට පැමිණෙමින් තිබූ අතර පසුගිය 20 වැනි දා කොළඹ වරායට ආසන්න වෙද්දී එහි ගින්නක් හටගත්තා.

ඒවන විට නෞකාව කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5ක දුරින් පිහිටියා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය ගින්න නිවීමේ කටයුතුවලට සම්බන්ධ වූ අතර ගින්න සැළකිය යුතු ලෙස පාලනය කිරීමට ඔවුන්ට හැකි වූවා.

එහෙත් ගින්න නිසා නෞකාවෙහි කන්ටේනර් අධික ලෙස රත් වී තිබුණා.

එකවරම පිපිරීමක්!

පෙරේදා (25) "යාස්" සුළි කුණාටුව බෙංගාල බොක්ක කළඹද්දී එහි බලපෑම මෙරට මුහුදු ප්‍රදේශයට ද දැනෙන්නට වූවා.

මේ හේතුවෙන් දැඩි සුළඟක් හටගත් අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ පාලනය කර තිබු ගින්න මෙම සුළඟ නිසා යළි ඇවිළීමට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

දින ගණනක ගින්න නිසා අධික ලෙස රත් වී තිබූ කන්ටේනර තොගය මධ්‍යයේ පෙරේදා (25) අළුයම පිපිරීමක් සිදු වූයේ ඒ අනුවයි.

මෙම පිපිරීමත් සමග මෙතෙක් කල් පාලනය වී තිබූ ගින්න ඉතා විශාල ලෙස වර්ධනය වන්නට පටන් ගත් අතර පිපිරීම හේතුවෙන් නෞකාව තුළ වූ කන්ටේනර් 08ක් සාගරයට වැටී ගිලී ගියා.

Image

නාවික හමුදාව විසින් ජීවිත බේරාගනී

පිපිරීමත් සමග නෞකාවේ සේවය කළ නාවිකයන් 25 දෙනාගේ ජීවිත සම්බන්ධයෙන් ද අවදානමක් මතුවූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වී ඔවුන්ව බේරාගැනීමට පෙරේදා (25) කටයුතු කළා.

කෙසේ වෙතත් පිපිරීම හේතුවෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලැබූවා.

ඔවුන් දෙදෙනාගේ පාදවලට දැඩි හානි සිදුව ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Image

අලි මදිවට කොටි!

ජාතික රෝහලේ දී මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව තුවාළ ලැබූ ඉන්දීය නාවිකයන් දෙදෙනා කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙලෙස තුවාළ ලැබූ ඉන්දීය ජාතිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ මේ අතරතුර යි.

ජාතික රෝහලේ දී සිදු කළ PCR පරීක්ෂණයේ දී මොවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට හඳුණාගෙන ඇති අතර පසුව මොවුන් දෙදෙනා ඇතුළත් කරනු ලැබූ පුද්ගලික රෝහලේ දී සිදු කළ PCR පරීක්ෂණයෙන් එක් අයෙකු ආසාදිත බවට හඳුණා ගත් බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වයත් සමග අනෙක් නාවිකයින් 23 දෙනා අතර ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් සිටීමේ සම්භාවිතාවක් පවතිනවා.

එමෙන්ම නාවිකයන් බේරාගැනීමට ක්‍රියා කල නාවික හමුදා භටයින් ද මේ හරහා අවදානමට ලක්ව තිබෙන බව පැහැදිළි කරුණක්.

නැවේ ගින්දර වරායට බාධාවක් ද?

මේ අතර “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙහි පවතින ගින්න හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම්වලට කිසිදු බාධාවක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා.

එමෙන්ම මෙයින් කොළඹ වරායට කිසිදු අනතුරක් ද නොමැති බව ඔහු අවධාරණය කර සිටියා.

එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ඔහු පැවසූවේ.

image host
Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 08:14

Related items