May 18, 2024

නැවේ බඩු ගත් අයට වැඩ වරදියි (VIDEO)

නැවේ බඩු ගත් අය පොලීසියෙන් සොයයි

මේවන විටත් ගිනිගන්නා “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සිට ගොඩබිමට ගසාගෙන ආ ද්‍රව්‍යයන් එක්රැස් කර රැගෙන ගිය පුද්ගලයින්ට සොයා විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති මෙම අවස්ථාවේ නිරෝධායන නීතීන්ට පටහැණිව කටයුතු කිරීම එක් පසෙකින් වරදක් බවත්, අනෙක් පසින් මෙම ද්‍රව්‍ය පිළිබඳ අනතුරු අඟවා තිබූ පසුබිමක මිනිස් ජීවිතවලට පවා අන්තරාදායී විය හැකි ලෙස මෙම ද්‍රව්‍යයන් එක් රැස් කිරීම වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව වෙරළට එක් රැස් වූ පුද්ගලයින් මෙන්ම එලෙස එක් රැස් වී වෙරළට පැමිණි භාණ්ඩ එකතු කර රැගෙන ගිය පුද්ගලයින් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ඔහු සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් මේවන විටත් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු පවසා සිටියා.

අද දහවල් උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වෙරළ තීරයට එක් රැස් වූ විශාල පිරිසක් මෙලෙස එම ද්‍රව්‍ය එකතු කරමින් සිටියා.

නෞකාවේ සිට වෙරළට ගොඩගසන කිසිම දෙයක් ස්පර්ශ නොකරන ලෙස ඊයේ (25) බලධාරීන් මහජනතාව වෙත දැනුම් දුන්නේ නෞකාවෙහි කන්ටේනර්වල විෂ සහිත රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබීම හේතුවෙන්.

එවන් අනතුරු ඇඟවීම් මධ්‍යයේ අද (26) දින ජනතාව සංචරණ සීමා ද නොතකමින් වෙරළට එක්රැස් වී සිටියා.

වෙරළට ගොඩ ගසා ඇති ආහාර ද්‍රව්‍ය සුවඳ විලවුන් ආදිය පමණක් නොව සාමාන්‍ය ජනතාවට භාවිතයට ගත නොහැකි ප්ලාස්ටික් සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය පිරවූ ගෝනි වැනි දෑ පවා ජනතාව විසින් එක් රැස් කර නිවෙස්වලට රැගෙන යන ආකාරය දක්නට ලැබුණා.

ඇතැම් පුද්ගලයින් වෙරළට ගොඩ ගසා ඇති බිස්කට්, චොක්ලට් සහ අනෙක් ආහාර ද්‍රව්‍ය එකතු කර අනුභව කරන ආකාරය ද නිරීක්ෂණය වූවා.

පරිසර හානි විතරක් ඇති! ජීවිත හානි එපා!

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, මේවන විට නෞකාව තුළ තිබූ කන්ටේනර් සහ ඒවා තුළ ගබඩා කර තිබූ භාණ්ඩ මිශ්‍ර වී ඇති බැවින් අන්තරායකර භාණ්ඩ සහ අන්තරායකර නොවන භාණ්ඩ වෙන් කොට හඳුනාගැනීමේ හැකියාවක් නොමැති බවයි.

එම නිසා වෙරළට පාවී එන බෑග්, පෙට්ටි ආදිය විවෘත කිරීම මෙන්ම ඒවා එක් රැස් කිරීම හරහා තම ජීවිතයට පවා හානි සිදු විය හැකි බව ඇය පවසනවා. 

පරිසරයට, සමුද්‍ර ජීවීන්ට සහ වෙරළ තීරයට සිදුව ඇති හානිවලට අමතරව මෙවැනි ක්‍රියා හරහා අනවශ්‍ය ජීවිත හානියක් සිදුවිය හැකි බව ද ඇය අවධාරණය කළා.

මෝඩ වැඩ නවත්වන්න ආරක්ෂක අංශ වෙරළට

බලධාරීන් මෙලෙස කොපමණ උපදෙස් ලබා දුන් නමුත් ජනතාව ඒවාට කන් නොදී දිගින් දිගටම වෙරළ කරා පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා.

උපදෙස් නොතකා ගිනිගන්නා නෞකාවේ සිට වෙරළට පාවී එන ද්‍රව්‍ය එක් රැස් කිරීමට මෙලෙස ජනතාව පැමිණීම වැළැක්වීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එම ප්‍රදේශවලට පැමිණියේ ඒ අනුවයි.

ඔවුන් මේවන විට වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමට ද ක්‍රියා කර තිබෙනවා.

Image

පරිසරය විනාශයි

 

ගිනිගන්නා නෞකාවෙන් නිකුත් වන රසායනික ද්‍රව්‍යයන් සහ තෙල් මේවන විට මෙරට බටහිර වෙරළ තීරය විනාශ කරමින් තිබෙනවා.

 

මේ හේතුවෙන් සාමාන්‍යයෙන් නෙතට සුන්දර දසුනක් මවන වෙරළ තීරයන් අද දක්නට ඇත්තේ තද කළු පැහැයෙන්.

 

එමෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ඉතා කුඩා කැබලි වශයෙන් වෙරළ තීරයන් පුරා විසිර පවතිනවා.

 

මේවා නොදිරන ද්‍රව්‍යයන්වන බැවින් වෙරළාශ්‍රිත පරිසරයට මෙන්ම සාගරයට ද දැඩි විනාශකාරී බලපෑමක් එල්ල වී තිබෙනවා.

 

තවත් පිළිස්සුණු අපද්‍රව්‍ය ද විශාල වශයෙන් සාගරයේත් වෙරළේත් විසිරී තිබෙන අයුරු දක්නට හැකියි.

Image

Image

Image

Image

Image

රසායනික ද්‍රව්‍ය සහ තෙල් පමණක් නොව කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ කන්ටේනර් දක්වා වූ ඝණ අපද්‍රව්‍ය කොටස් ද මේවන විට වෙරළ වෙත ගොඩගසා තිබෙනවා.


Image

Image

මේ අතර නෞකාවේ සිට තෙල් සහ තවත් අපද්‍රව්‍ය තවදුරටත් වෙරළ වෙත පැමිණිය හැකි බව පැවසෙනවා.

විශේෂඥයින් සැක කරන්නේ කොළඹ සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙම ද්‍රව්‍ය ගොඩ ගැසීමට ඉඩ ඇති බවයි.

මෙම වෙරළ තීරය ආශ්‍රිතව වෙසෙන පුද්ගලයින්ට උපදෙස් දී ඇත්තේ මෙම ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ යෙදීමෙන් වළකින ලෙසට යි.

පිරිසිදු කිරීම් ඇරඹෙයි

මෙම සිදුවීමෙන් මෙරට වෙරළ තීරයටත් ඒ ආශ්‍රිතව දිවි ගෙවන සත්ත්ව සහ මිනිස් ප්‍රජාවටත් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අද (26) පස්වරුවේ ආරම්භ වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ තවත් ආයතන එක්ව මෙය සිදු කරනු ලබනවා.

Image

තෙල් විසිරීම පාලනයටත් බාධා

මේ අතර සාගර ජලය වෙත තෙල් විසිරීමක දී එයින් සිදුවන පරිසර හානිය අවම කිරීම පිණිස ගන්නා ක්‍රියාමාර්ග ද ගැනීම මේවන විට අපහසු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපයේ පවතින දැඩි ප්‍රචණ්ඩකාරී කාලගුණික වාතාවරණය ඊට හේතුව යි.

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති අඩු පීඩන තත්ත්වය මේවන විට සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර ("යාස්" සුළි කුණාටුව) එය මේවන විට බෙංගාල බොක්කෙන් උතුරු දෙසට ගමන් කරමින් තිබුණත් එහි වක්‍ර බලපෑම මෙරට සාගර කලාපයට ද බලපා තිබෙනවා.

මෙවන් කාලගුණික තත්ත්වයක් මත මහාපරිමාණ තෙල් විසිරීමක් සිදුවුව හොත්  නෞකාව වටා කලාපයේ ආරක්ෂිත පියවර ගැනීමට නොහැකි බවත් සිදු කළ හැක්කේ වෙරළ පිරිසිදු කිරීම පමණක් බවත් විශේෂඥයින් පවසනවා.

එවැනි විශාල පරිසර හානියක් සිදුවුවහොත් එය අවම කරගැනීමට අවශ්‍ය පිරිස් සහ භාණ්ඩ මේවන විටත් සූදානමින් පවතිනවා.

මෙහි දී සංවේදී පරිසර පද්ධති සහ ධීවර කර්මාන්තය කෙරෙහි අතිශය තීරණාත්මක ස්ථාන කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවන බව සඳහන්.

දුර සිට නැවට කොක්කක්!

මේවන විට ගිනිගනිමින් පවතින “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවට දුර සිට රැහැණක් සම්බන්ධ කරමින් එය ශ්‍රී ලංකාවට එපිටින් වූ ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා සැළසුමක් සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඒෂියන් මිරර් වෙත අනාවරණය කළා.

ඔහු මේ බව පවසා සිටියේ අප කළ විමසීමක දී.

මේවන විට සම්පූර්ණ නෞකාවම පාහේ දැඩි ලෙස ගිනිගනිමින් පවතින අතර ගින්නේ ප්‍රබලත්වය හේතුවෙන් එය වෙත ලඟා වීමට නොහැකි වී ඇති බවයි දයා රත්නායක මහතා සඳහන් කළේ.

නෞකාවට සවි කළ රැහැන් මගින් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමට මීට පෙර සැළසුම් කර තිබුණත් පවතින වාතාවරණය යටතේ එයට ලඟා විය නොහැකි නිසා නෞකාවට රැහැණක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එම නිසා දුර සිට “කොක්කක්” වැනි උපාංගයක් භාවිත කර නෞකාවට රැහැණක් සම්බන්ධ කිරීම පිළිබඳව මේවන විට අවධානය යොමු වී ඇති බවත්, එලෙස රැහැණක් සම්බන්ධ කළ වහාම එය ආරක්ෂිතව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමට කටයුතු කරන බවත් දයා රත්නායක මහතා ප්‍රකාශ කළා.

20 වැනි දා ආරම්භ වූ මෙම ගින්න මෙයට පෙර යම් තාක් දුරකට පාලනය කර තිබූ අතර ඒ මොහොතේ එය ඇදගෙන යාම සඳහා අවධානය යොමුව තිබුණත්, ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීමක් මත එම ක්‍රියාවලිය කඩිනමින් කිරීමට නොහැකි වූ බව ද ඔහු පැවසුවා.

විමර්ශනය කිරීමෙන් අනතුරුව අදාළ විදෙස් විශේෂඥයින් පවසා ඇත්තේ නෞකාවේ පවතින උෂ්ණත්වය හා එහි ගබඩා කර ඇති රසායන ද්‍රව්‍ය අනුව පිපිරීමක් සිදු වීමේ අවදානමක් පවතින බවයි.

එම නිසා නෞකාව වෙත ලඟාවීම අනතුරුදායක බව ඔවුන් පවසා තිබෙනවා.

මේ හේතුවෙන් නෞකාව ඇදගෙන යාමේ ක්‍රියාවලිය සංකීර්ණ වූ බවත්, ඊයේ (25) නෞකාවේ පිපිරීමක් සිදු වූයේ මෙවැනි පසුබිමක් මත බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නැවේ ගින්දර වරායට බාධාවක් ද?

මේ අතර “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙහි පවතින ගින්න හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම්වලට කිසිදු බාධාවක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා.

එමෙන්ම මෙයින් කොළඹ වරායට කිසිදු අනතුරක් ද නොමැති බව ඔහු අවධාරණය කර සිටියා.

එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ඔහු පැවසූවේ.

මේවන විට නෞකාවේ තත්ත්වය

කොළඹ වරායට ඔබ්බෙන් ගිනි ගන්නා X-PRESS PEARL නෞකාවේ පාලක මැදිරිය ද මේවන විට ගිනිගනිමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව මේවන විට නෞකාව පුරාම ගින්න ව්‍යාප්ත වී ඇති බවයි පැවසෙන්නේ.

මේවන විට නෞකාවේ ලෝහ කොටස් උණු වීම සහ එය දකුණු පසට ඇළ වීම හේතුවෙන් එහි පටවා තිබූ කන්ටේනර් විශාල ප්‍රමාණයක් මුහුදට ඇද වැටී ඇති අතර ඉන් බොහොමයක් මුහුදුබත් වී ඇති බව වාර්තා  වුණා.

ගින්නත් සමග ඒ අවට හටගෙන ඇති අධික උණුසුම හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු සඳහා නෞකාව වෙත ලඟා වීම හෝ දුෂ්කර වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වරාය අධිකාරිය නෞකාවේ ගින්න පාලනය කිරීමට උත්සහ දරමින් සිටිනවා.

මේ සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ සහය ද මෙයට හිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද හෙලිකොප්ටර් යානා භාවිත කරමින් මෙම ක්‍රියාන්විතයට සහය දෙමින් සිටිනවා.

ඔවුන් අද (26) දින ඉහළ අහසේ සිට ගිනි නිවීම් කටයුතු සඳහා යොදා ගන්නා "වියළි රසායන ද්‍රව්‍ය" (DRY CHEMICAL) කිලෝ ග්‍රෑම් 800කට වඩා පහතට හෙළා තිබෙනවා.

ගින්න නිවන්න බැරි වේවි

මේ අතර ගින්න පාලනය කිරීමට හැකි තත්ත්වයක මේවන විටත් නොමැති බවත් ගින්න පාලනය කිරීමට ඇති ඉඩකඩ ද ඉතාමත් අඩු බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම පවතින දැඩි සුළං සහිත කාලගුණයත් සමග ගින්න විශාල ලෙස වර්ධනය වෙමින් පැතිරෙමින් පවතිනවා.

ගින්නෙහි විශාලත්වය නිසාම එය ආසන්නයට යාමට ද අපහසු වී තිබෙනවා.

නෞකාව ශ්‍රී ලංකාවෙන් තවත් ඈතට ඇදගෙන යාම සඳහා සැළසුමක් තිබුණත්, එය ද සිදුකිරීමට නොහැකි වී ඇත්තේ එය ආසන්නයට ලඟා වීමට නොහැකි වී ඇති නිසා යි.


Image

Image


නෞකාව ඇතුලේ මොනවද තියෙන්නේ?

මෙම නෞකාව තුළ පවතින සාමාන්‍ය භාණ්ඩවලට අමතරව අන්තරායකර භාණ්ඩ ලෙස වර්ග කර ඇති භාණ්ඩ ද පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

එම අන්තරායකර භාණ්ඩ ලෙස නයිට්‍රික් අම්ල, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් මෙතොක්සයිඩ් සහ වයිනයිල් ඇසිටේට් ආදී විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබෙන බව යි ඇය පැවසුවේ.

මේවායින් බොහොමයක් ප්‍රතික්‍රියාශීලී බවින් ඉතා ඉහළ බව යි සභාපතිනිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේවාට අමතරව රූපලාවන්‍ය නිෂ්පාදන සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද නෞකාව තුළ පවතින බවත්,  ඒවා ද ඉතා ප්‍රතික්‍රියාශීලී බවත් ඇය පවසනවා.

අන්තරායකර භාණ්ඩ ලෙස නොගැනුනත්, ගින්නක දී අතිශය භයානක ද්‍රව්‍ය ලෙස සැළකිය හැකි තෙල් වර්ග වැනි දෑ ද නෞකාව තුළ ගබඩා කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය අනාවරණය කළේ.


ටයිටැනික් වගේ දෙකට කැඩෙයිද?

ගිනි ගනිමින් පවතින X-PRESS PEARL නෞකාව දෙකට කැඩී වෙන් වීමේ අවදානමක් මතුව ඇති බව නාවික විශේෂඥයින් පවසනවා.

යම් හෙයකින් එසේ නෞකාව දෙකඩ වුවහොත් එය සාගර පතුලේ ගිලී යනු ඇති.

එහි දී මේවන විට පවතින දැඩි ගින්න නිවී යනු ඇති නමුත් නෞකාවේ ඇති ඉන්ධන සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සාගර ජලයට මුසු වීම සිදුවීම අනිවාර්යයයි.

නැව ගිලුනොත්?

නෞකාව ගිලී ගියහොත් ඒ හරහා විශාල පරිසර හානියක් සිදු විය හැකි බවට විශේෂඥ කණ්ඩායම් අනතුරු අඟවනවා.

එමෙන්ම එසේ සිදුවුවහොත් එය මෑත ඉතිහාසයේ මෙරට සිදුවන දරුණුතම පරිසර ඛේදවාචකයක් වනු ඇතැයි පරිසරවේදීන් බිය පළ කරනවා.

නෞකාවෙන් තෙල් කාන්දුවක් හෝ රසායනික කාන්දුවක් මහාපරිමානයෙන් ඇති වුවහොත් එම තෙල් හෝ රසායන ද්‍රව්‍ය වෙරළ කරා ළඟාවීම අනිවාර්යෙන් සිදුවනක්.

එවැන්නක් සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට මත පළ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තල්මසුන්, ඩොල්ෆීන් සහ කැස්බෑවුන් ආදී එකී නොකී වටිනා ජෛව සම්පත් රැසකට වාසභූමි සපයන මුහුදු ප්‍රදේශයක් වන බැවින් එම සතුන්ගේ ජීවිත පිළිබඳ ද මෙහි දී ගැටළුවක් මතුවනවා.

එමෙන්ම වෙරළාශ්‍රිතව පිහිටි සංවේදී පරිසර පද්ධති රැසක් මෙරට වටා පිහිටා ඇති අතර මෙවැනි පරිසර හානියක දී සිදුවිය හැකි හානිය සුළු පටු නොවනු ඇති.

ජලජ ජීවීන්ට මෙවැනිනකින් දැඩි හානි සිදුවන බැවින් එය ධීවර කර්මාන්තයට ද එල්ල විය හැකි තර්ජනයක්. 

එමෙන්ම ලොව සුන්දරතම වෙරළ තීර ලැයිස්තු අතර පවතින මෙරට වෙරළ තීර මත තෙල් තට්ටු තැන්පත් වුවහොත් එය සංචාරක කර්මාන්තයට දිගුකාලීනව බලපෑම් ඇතිකිරීමට සමත්වනු ඇති. 

එමෙන්ම මෙවැන්නක් හමුවේ ශ්‍රී ලංකා වාසීන්ට සෞඛ්‍ය ගැටළු පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා.

මෙම නෞකාව තුළ ඉන්ධන ටොන් 350ක් පමණ ඇති බවයි පැවසෙන්නේ.

දුමත් ගැටළුවක්

නෞකාවේ පවතින ගින්නෙන් මේවන විටත් විශාල කලු දුමාරයක් අහසට නිකුත් වෙමින් පවතිනවා.

මේවන විට පවතින සුලං ප්‍රවාහයත් සමගින් මෙම දුමාරය සහ නිකුත්වන විෂ අංශු දිවයින හරහා ගමන් කිරීමට ඉඩකඩ පවතින බැවින් ඒ හරහා මෙරට ජනතාවට සෞඛ්‍ය හානි ද ඇති වීමේ අවදානමක් මතුව තිබෙනවා.

විශේෂයෙන් ශ්වසන අපහසුතා පවතින පුද්ගලයින්ට මින් ඇතිවිය හැකි බලපෑම වැඩි බව පැවසෙනවා.

එමෙන්ම එවැනි කෙටිකාලීන බලපෑම් මෙන්ම දැවී යන රසායනික ද්‍රව්‍ය හරහා විවිධ විෂ අංශු ආශ්වාස කිරීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු පවා ඇති විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරනවා.

මොකක්ද මේ X-PRESS PEARL?

X-PRESS PEARL යනු සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා නෞකාවක්.

මෙය පැරණි නැවක් නොවන අතර 2021 එනම් මෙම වසරේ දීම නිෂ්පාදනය කර ඇති මෙහි දිග මීටර 186ක්වන අතර පළලින් මීටර 34ක්.

රසායනික ද්‍රව්‍ය ඇතුළු තවත් දෑ ගබඩා කළ කන්ටේනර් 1,486ක් මෙය තුළ පටවා තිබුණා.

ගිනි ගත් හැටි

කන්ටේනර් තොගය ද රැගෙන ඉන්දියාවේ හසීරා වරායේ සිට X-PRESS PEARL නෞකාව කොළඹ වරායට පැමිණෙමින් තිබූ අතර පසුගිය 20 වැනි දා කොළඹ වරායට ආසන්න වෙද්දී එහි ගින්නක් හටගත්තා.

ඒවන විට නෞකාව කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5ක දුරින් පිහිටියා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය ගින්න නිවීමේ කටයුතුවලට සම්බන්ධ වූ අතර ගින්න සැළකිය යුතු ලෙස පාලනය කිරීමට ඔවුන්ට හැකි වූවා.

එහෙත් ගින්න නිසා නෞකාවෙහි කන්ටේනර් අධික ලෙස රත් වී තිබුණා.

අළුයට ගිනි පෙන්වූ පිපිරීම

ඊයේ (25) "යාස්" සුළි කුණාටුව බෙංගාල බොක්ක කළඹද්දී එහි බලපෑම මෙරට මුහුදු ප්‍රදේශයට ද දැනෙන්නට වූවා.

මේ හේතුවෙන් දැඩි සුළඟක් හටගත් අතර X-PRESS PEARL නෞකාව තුළ පාලනය කර තිබු ගින්න මෙම සුළඟ නිසා යළි ඇවිළීමට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

දින ගණනක ගින්න නිසා අධික ලෙස රත් වී තිබූ කන්ටේනර තොගය මධ්‍යයේ ඊයේ (25) අළුයම පිපිරීමක් සිදු වූයේ ඒ අනුවයි.

මෙම පිපිරීමත් සමග මෙතෙක් කල් පාලනය වී තිබූ ගින්න ඉතා විශාල ලෙස වර්ධනය වන්නට පටන් ගත් අතර පිපිරීම හේතුවෙන් නෞකාව තුළ වූ කන්ටේනර් 08ක් සාගරයට වැටී ගිලී ගියා.

නාවිකයන් 99න් බේරෙයි

පිපිරීමත් සමග නෞකාවේ සේවය කළ නාවිකයන් 25 දෙනාගේ ජීවිත සම්බන්ධයෙන් ද අවදානමක් මතුවූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වී ඔවුන්ව බේරාගැනීමට ඊයේ (25) කටයුතු කළා.

කෙසේ වෙතත් පිපිරීම හේතුවෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලැබූවා.

ඔවුන් දෙදෙනාගේ පාදවලට දැඩි හානි සිදුව ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Image

Image

ගින්න මදිවට කොවිඩ්

ජාතික රෝහලේ දී මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව තුවාළ ලැබූ ඉන්දීය නාවිකයන් දෙදෙනා කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙලෙස තුවාළ ලැබූ ඉන්දීය ජාතිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ මේ අතරතුර යි.

ජාතික රෝහලේ දී සිදු කළ PCR පරීක්ෂණයේ දී මොවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට හඳුණාගෙන ඇති අතර පසුව මොවුන් දෙදෙනා ඇතුළත් කරනු ලැබූ පුද්ගලික රෝහලේ දී සිදු කළ PCR පරීක්ෂණයෙන් එක් අයෙකු ආසාදිත බවට හඳුණා ගත් බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වයත් සමග අනෙක් නාවිකයින් 23 දෙනා අතර ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් සිටීමේ සම්භාවිතාවක් පවතිනවා.

එමෙන්ම නාවිකයන් බේරාගැනීමට ක්‍රියා කල නාවික හමුදා භටයින් ද මේ හරහා අවදානමට ලක්ව තිබෙන බව පැහැදිළි කරුණක්.

image host
Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 May 2021 21:56

Related items