April 26, 2024

පාර්ලිමේන්තු පොකුර ඇරඹෙන ලකුණු!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුණාගැනීමත් සමග පාර්ලිමේන්තුව ආශ්‍රිත කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

පාර්ලිමේන්තු සභාවාරයන් තුළ දී මන්ත්‍රීවරුන් දුරස්ථභාවය පිළිබඳව සැළකිල්ලකින් තොරව කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන අතර ඒ අනුව මේවන විට ආසාදිත බවට තහවුරු වී ඇති මන්ත්‍රීවරු සමග සමීපව ගැවසුණු තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු හෝ සිටිය හැකි බව පැහැදිළි කරුණක්.

එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරු මුව ආවරණ පවා ගලවා දමා අදහස් ප්‍රකාශ කරන ආකාරය විටින් විට දක්නට ලැබුණා.

ඊයේ දිනයේ එක් මන්ත්‍රීවරයෙකු පමණක් කොවිඩ් ආසාදිත බවට හඳුණාගෙන සිටියත් මේවන විට එය දෙක දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙලෙස ආසාදිතයින් පාර්ලිමේන්තුව තුළින් වාර්තා වීමේ පසුබිමක ඊයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විමසා සිටියේ පාර්ලිමේන්තු සභා වාරයන් පැවැත්වීම තුළින් අනෙකුත් මන්ත්‍රීවරුන් ආසාදනය වීමේ අවදානමක් නොමැති ද යන්නයි.

මන්ත්‍රීවරයෙකු ආසාදිත වී ඇති වාතාවරණයක සභා වාරයන් කල් දැමිය යුතු බව ඔහු කියා සිටියා.

එමෙන්ම සිය බෑණා සහ කාර්යාලයේ සේවකයන් කිහිප දෙනෙකුටම කොවිඩ් 19 ආසාදනය වී ඇති පසුබිමක අමාත්‍ය ගාමිණී ලොකුගේ ද පාර්ලිමේන්තු පැමිණ තිබුණා.

තව ද ඔහු පැමිණෙන්නේ මේවන විට කොවිඩ් අධි අවදානමකට ලක්ව ඇති පිළියන්දල ප්‍රදේශයේ සිට වීම ද විශේෂත්වයක්.

කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවී ඇති බව පෙනී යාම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් හට ඊයේ (19) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කළ අතර ඔහු කොවිඩ් ආසාදිත බවට එහි දී තහවුරු වූවා.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සිදු වුණා.

එවන් පසුබිමක් මත තවත් මන්ත්‍රීවරයෙකු ආසාදිත බවට අද (20) දින හඳුණාගත්තා.

ඔහු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්.

ඔහු මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පුවත් ආරංචි මාර්ග තහවුරු කළා.

එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් ද මේවන විට නිරෝධායනයට ලක් කොට තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 20 May 2021 18:03