April 27, 2024

වෙඩි හඬින් මීරිගම සෙළවෙයි - කොස්ගොඩ තාරක මරුට Featured

දකුණු පළාතේ නම ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් “කොස්ගොඩ තාරක” නැමැත්තා අද (13) අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 

පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව යි ඔහු සඳහන් කළේ.

කොස්ගොඩ තාරකගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව පොලිස් නිලධාරීන් විසින් ඔහු රේන්දපොළ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර මෙම සිදුවීම වී ඇත්තේ එම අවස්ථාවේ දී.

මෙහි දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ "ඌරු ජුවා" නමැත්තා ද පෙරේදා (11) දින පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූවා.

ඌරු ජුවා හෙවත් දිනිති මෙලන් මාඹුල යනු පාතාල නායකයෙකුව සිටි රණාලේ සමයංගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසයි සැලකෙන්නේ.

මොහු කප්පම් ගැනීම් සහ මිනිස් ඝාතන රැසකට චෝදනා ලැබ සිටියා.

ඌරු ජුවා ජීවිතක්ෂයට පත් වූයේ, නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේදීයි.

පොලිස් අත්අඩංගුවට පත්ව සිටි ඌරු ජුවා, රණාලේ සමයංට අයත්ව තිබූ බව කියන වඳුරම්මුල්ලේ පිහිටි පාළු ගෙයක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගොස් තිබුණා.

එහි තිබී අත්බෝම්බ 5ක් සොයාගෙන ඇති අතර 6 වන අත්බෝම්බය රැගෙන පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේදී සිය නිලධාරීන් ඌරු ජුවාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසනවා.

ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්.

පසුව කළ සෝදිසි මෙහෙයුමකදී අදාළ පාළු නිවසේ තිබී ගල් කටස් තුවක්කු කිහිපයක් සහ කඩු 3ක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

ඌරු ජුවා හෙවත් දිනිති මෙලන් මාඹුල 1994 වසරේදී උපත ලබා ඇති අතර ඔහු පසු වූයේ 27වැනි වියේ යි.

කප්පම් ගැනීම් සහ පුද්ගල ඝාතනවලට ඍජුවම සම්බන්ධ ඔහු නිසා කඩුවෙල, නවගමුව, රණාල, ඇඹුල්ගම, දැඩිගමුව, ජල්තර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව බියෙන් ඇළලී සිටි බව වාර්තා වෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 07:03