May 08, 2024

"මොන අභියෝගයන් ආවත් සංවර්ධනය නතර කරන්නේ නැහැ" - ඇමැති ජොන්ස්ටන්

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී අධිවේගී මාර්ග සැලසුම් කරද්දී කළුගල් වලින් හදන මාර්ග රත්තරන් වලින් හදන්නද ඇස්තමේනතු සකස් කරන්නේ කියලා විපක්ෂය මඩ ප්‍රහාර එල්ල කළ බවත්
මේ සෑම සංවර්ධනයක්ම කරන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

"අපි හැම කෙනෙක්ම පරිස්සම් විය යුතු කාලයක් මේක. අපි අභියෝග ගණනාවකට මුහුණ දෙන පිරිසක්. මේ විපක්ෂය හිතාගෙන ඉන්නේ ලංකාවට විතරයි කොවිඩ් හැදිලා තියෙන්නේ කියලා. කොවිඩ් වසංගතය මුළු ලෝකයේම අභියෝගයකට ලක් වෙලා තියෙන මොහොතක දි අපි පලවෙනි, දෙවැනි රැල්ලේදී ඉතාමත් දක්ෂ අයුරින් මේකට මුහුණ දුන්නා. අපගේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් රජයත් සෞඛ්‍ය ඇමතිනි වගේම සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රටේ සමස්ත ජනතාව මෙම වසංගතයට ඉතාමත් දක්ෂ ලෙස මුහුණ දුන්න කියලා ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුළුවන්." යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

රට වහන්න, අරින්න කියලා උද්ඝෝෂණය කරන විපක්ෂයක් තමයි අපේ රටේ අද ඉන්නේ. ඒ නිසා අපි ගත්ත තීන්දුව තමයි මොන අභියෝගයන් ආවත් අපි සැලසුම් කල සංවර්ධනය අපි නතර කරන්නේ නැහැ කියලා. අපේ රට අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. එක දවසක් පමා වෙනවා කියන්නේ අපේ රටේ ජනතාවගේ අනාගතය ආපස්සට යනවා කියන එක. ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ සහ රජයේ ප්‍රතිපත්ති තමයි ඉදිරියට ගෙනියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේදී වැඩ බිමක්ව තිබූ රට යහපාලන කාලයේදී මුඩු බිමක් බවට පත් වුණා. නමුත් දැන් අපි නැවත ඒ මුඩු බිම වැඩ බිමක් බවට පරිවර්ථනය කලා. ඔවුන්ට වගේ නෙවෙයි, අපිට විශාල අභියෝග රැසක් තිබුණා. අපිට තිබුණේ වැටුණු ආර්ථිකයක් නඟාසිටුවන්න. හැම අතින්ම කඩාගෙන වැටුණු සංවර්ධනය නතර වුණු රටක් තමයි අපට ලැබුණේ. දූෂණයෙන්, හොරකමින්, වංචාවෙන් පිරුණු රටක් තමයි අපේ රජයට ලැබුණේ. ඒ වගේම රාජ්‍ය ආරක්ෂාව විනාශ වුණු රටක් තමයි එදා අපිට ලැබුනේ. අද මේ වෙනකොට අපි මේ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරපු විගස මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු විදිහ අපේ ඇඟවල් වලට දැනුණා. ඒ විතරක් නෙවෙයි, චීනයට පමණක් දෙවැනි උන ආර්ථික වර්ධන වේගයක් තිබුණූ රටේ ආර්ථිකය විනාශ කරලා, මහ බැංකුවෙන් හොරා කාලා, රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘති වලින් හොරකම් කරලා මුළු රටක ආර්ථිකය විනාශ කරපු පිරිසක් හිටපු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. ඔවුන් මේ රට අපට භාර දුන්නේ විනාශ කරලා. නමුත් අපි විනාශ වූ ආර්ථිකය නැවත හැදුවා.

කොවිඩ් අර්බුදයට මුළු ලෝකයම මුහුණ දෙනකොට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, ආණ්ඩුවත්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස ඉතාමත් දක්ෂ ලෙස මේ රට පාලනය කලා. නැවත වරක් මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනේ අන්න ඒ නිසයි. මේ දැවැන්ත ව්‍යාපෘති අපට ආරම්භ කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් අන්න ඒ නිසයි. පසුගිය ආණ්ඩුවේ කීව්වේ රට හදන්න මුදල් නැහැ කියලා. රට සංවර්ධනය කලොත් ආණ්ඩුව බංකොලොත් වෙනවා, ආණ්ඩුවට මුදල් නැහැ කිව්වා. ආණ්ඩුවට රටවල් පස්සෙන් ගොස් හිඟා කන්න තමයි වෙන්නේ කිව්වා. නමුත් අද වෙනකොට රටේ ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා. හැම කොන්ත්‍රාත්කරුවෙකුටම නිසි වෙලාවට මුදල් ගෙවනවා. මනා කළමනාකරණයකින් මේ රටේ ආර්ථිකය අපි හසුරුවා ගෙන යනවා.

ගරු අගමැතිතුමනි, ඔබතුමාට මීට වඩා අභියෝග තිබුණා. අවුරුදු තිහක් තිස්සේ අවසන් කරන්න බෑ කියපු යුද්ධය ඔබ අවසන් කෙරුවා. යුද්ධය තිබියදී වුණත් ආර්ථිකය කඩාගෙන වැටෙන්නට ඉඩ නොදී රට සංවර්ධනය කරා රැගෙන ගිය නායකයෙක් ඔබතුමා. ඔබතුමාගේ පවුලට බොරු ගොතලා මඩ ප්‍රහාර එල්ල කරලා විශාල වශයෙන් අපකීර්තියට පත් කළා. අගෞරව කලා. නමුත් මේ රටේ ප්‍රගතශීලී ජනතාව ඔබතුමා කෙරෙහි ඇති විශ්වාසය නිසා ඡන්දයෙන් නැවත පත්කර ගත්තා. ඒ නිසා ඒ විශ්වාසය පළුදු වෙන්න කටයුතු කරන්නේ නෑ කියන එක අපි මේ රටේ ජනතාවට මතක් කරනවා.

ඔබතුමාගේ කාලයේදී අධිවේගී මාර්ග සැලසුම් කරද්දී කළුගල් වලින් හදන මාර්ග රත්තරන් වලින් හදන්නද ඇස්තමේනතු සකස් කරන්නේ කියලා විපක්ෂය මඩ ගැහුවා. එදා ඔබතුමා විසින් මංතීරු හයක් යටතේ රුපියල් බිලියන 66කට හදන්න කොන්ත්‍රාත් පිරිනමපු පිටත වටරවුම් මාර්ගය එම මුදලටම මංතීරු දෙකක් අඩු කරලා යහපාලන ආණ්ඩුව එම මාර්ගය ඉදිකලා. මහ බැංකුව විතරක් නෙවෙයි අමු අමුවේ මහ දවල් මේ විදිහට ව්‍යාපෘති වලින් හොරකම් කලා.

මම දැක්කා හිටපු ඇමති කෙනෙක් කියනවා, සංවිධානාත්මකව අඩුම මුදලට මේ කොන්ත්‍රාත්තුව දුන්නා කියලා. ඔවුන් නිතරම හදන්නේ අපිට පහර දෙන්න. ඒක මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. දැන් ඔවුන් හොරකම් කරපු මුදල් ටික ෆේස් බුක් හරහා එළියට එනවා. ඒවා වලින් තමයි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් රජයටත් වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ටත් අද මඩ ගහන්නේ. මම දන්නවා රටේ ජනතාව මේවා විශ්වාස කරන්නේ නැහැ කියලා. රටේ ජනතාව ඔවුන්ට වෙන්නේ මොකක්ද කියලා බලාගෙන සිටිනවා.

මේ අධිවේගී මාර්ගයේ රත්නපුරයට යනවා කියන්නේ මුළු දේශීය සහ විදේශිකයන්ට වඩාත් ඵලදායී දෙයක් කියලා මම කියනවා. එදා මහින්ද චින්තනයේ තිබුණු එක බලාපොරොත්තුවක් තමයි මේ රුවන්පුර අධිවේගී මාර්ගය. සෞභාග්‍යයේ දැක්ම අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් බලාපොරොත්තුව මේක ඉක්මනින් හදලා ජනතාවට දායද කරන්නයි. පහුගිය ආණ්ඩුවේ හිටපු නායකයෝ ත්‍රෙනිකාය නායක හාමුදුරුවන්ටත් බොරු කිව්වා. එවැනි නායකයෝ හිටපු ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. මේ කොන්ත්‍රාත් එකට මාස තිහක් ලැබිලා තියනවා. මාගා ආයතනය ඉතා දක්ෂ අයුරින් කුරුණෑගල අධිවේගී මාර්ගයේත් වැඩ කරගන යනවා. මෙම මාර්ගය මීට මාස හයකට කලින් විවෘත කරන්න තිබුණත් එය බැරිවෙලා තියෙන්නේ පහුගිය යහපාලන ආණ්ඩුව නිසායි. යහපාලන කැබිනට් මණ්ඩලයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක්ට කොන්ත්‍රාත් දුන්නත් එහි වැඩ නිමවෙලා නැහැ. එහෙම තමයි ඔවුන් වැඩ කරන ආකාරය. ඔවුන් බිලියන ගණන් මුදල් අරගෙන කෙරුවේ හෙලිකොප්ටර් ගත්ත එක. ඒවයින් ගත්ත හෙලිකොප්ටර් වල ගිය නායකයො තමයි එදා හිටියේ. දැන් ඉන්න විපක්ෂ නායකවරුත් එදා ගියේ ඔය ගත්ත හෙලිකොප්ටර් වලින් තමයි.

අපි අද මතක් කරනවා මේ ව්‍යාපෘති නිසි අයුරින් අවසන් කරනවා කියලා. අපි මේ අධිවේගී මාර්ගය ආරම්භ කරලා රත්නපුරේ ජනතාවට විතරක් නෙවෙයි ඈත පිටිසර හම්බන්තොට බදුල්ල මොණරාගල දක්වා ගොවි ජනතාවගේ නිෂ්පාදන ඉතාමත් ඉක්මනින් නගරයට ගේන්න පුළුවන් ආකාරයට ඉක්මනට රෝහලට යන්න පුළුවන් විදිහට ඉක්මනින්ම පාසල කරා යන්න පුළුවන් විදිහට ඉක්මනින් තමන්ගේ වැඩ බිමට යන්න පුළුවන් විදිහට මේ මාර්ගය අපි හදනවා කියන එක මම මේ අවස්ථාවේදී ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. මේ අමාත්‍යාංශයට ලබා දුන් ශක්තිය වෙනුවෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් නැවතවරක් ස්තුතිවන්ත වෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)

Related items