May 02, 2024

(Exclusive) ෆේස්බුක් කතා බොරු! - මිය ගිය යුවල හමුවී තිබෙන්නේ මන්ත්‍රීගේ මැතිවරණ වැඩවලදී

රටම කම්පාවට පත් කරමින් ඝාතනයට ලක් වූ තරුණිය සහ එම තරුණිය ඝාතනය කළ පසුව සියදිවි නසා ගත් පුද්ගලයා සිය අනියම් සම්බන්ධතාව පටන්ගෙන ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළින් බව බොහෝ මාධ්‍ය මෙන්ම පිරිස් විසින් ද පවසමින් සිටියි.

නමුත් ඒෂියන් මිරර් මෙම සිදුවීම පිළිබඳව කළ සොයා බැලීමකදී අපට දැනගන්නට ලැබුණේ මෙම මිය ගොස් සිටින යුවල හමුවී තිබුණේ ෆේස්බුක් හරහා නොවන බවත් මැතිවරණ ප්‍රචාරණයකදී බවත්ය.

මෙම තරුණිය ඝාතනය කළ උප පොලිස් පරික්ෂකවරයා වන අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නම් 52 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය යහපාලන රජයේ අමාත්‍යවරයෙකු වු හරීන් ප්‍රනාන්දු මහතාගේ ඇමති ආරක්ෂක අංශ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට තිබුණි.

2019 වසරේ ජනවාරි මාසයේ දී අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කළ අවස්ථාවේ ඔහුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කර තිබේ.

ඒෂියන් මිරර් අප මේ සම්බන්ධව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු ඒ බව තහවුරු කර සිටියේය.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ මියගිය තරුණිය සමගි ජනබලවේගයේ රත්නපුර කාර්යාලයේ මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවලට සහය දුන් බවට මතකයක් ඇති බවයි.

මෙම ඝාතනයට ලක් වූ තරුණිය කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියකට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබුණත් එම අපේක්ෂකයා එය ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව මෙම දිලිනි යෙහන්සා නම් රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ සිටි තරුණිය  පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වූ හේෂා විතානගේ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියකට සම්බන්ධ වී තිබේ.

මිය ගිය පොලිස් නිලධාරියාද එම කාලසීමාව තුළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂව සඳහා එම ප්‍රදේශයේ සිට තිබෙන අතර එහිදී දෙදෙනා අතර හඳුනා ගැනීමක් සිදුවන්නට ඇති බවත් එහිදී මෙම අනියම් සම්බන්ධය ඇති වන්නට ඇති බවත් වාර්තා වෙයි.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා අප සමඟ මෙම පොලිස් නිලධාරීයා පිළිබඳව සඳහන් කරමින් පවසා සිටියේ මෙලෙස සියදිවි හානි කරගෙන මිය ගිය පුද්ගලයා තමන්ගේ ආරක්ෂක අංශයේ සේවය කළ බවත් එම සේවය කරමින් සිටින කාලය තුළදී ඔහුට උසස් වීමක් ලැබුණු බවත් ඒ අනුව ඔහු බුත්තල පොලීසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවයට ගිය බවයි

මෙම මිය ගිය තරුණිය පිළිබඳව සොයා බැලීමේදී ඇය යෞවන සමාජ කටයුතුවලදී ක්‍රියාකාරී සාමාජිකාවක් ද වූ අතර දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලවල මෙන්ම තරුණ කටයුතුවලදී ඉතාමත් ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසද කටයුතු කර තිබේ.

ෆේස්බුක් හේතුවෙන් මෙම යුවල හමුව ඇතැයි පළවෙන චෝදනා ඒ අනුව අසත්‍ය බව තහවුරු වෙයි.

පසුගියදා (01) කොළඹ, වේල්ලවීදියේ අත්හැර දමා ගිය ගමන් මල්ලක් තුළ හිස නොමැති තරුණියකගේ සිරුරක් හමුවීමත් සමඟ රට තුළ අභිරහස් ඝාතනයක් පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය විය. අද (03) දිනය වන විට ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙම සිදුවීම විසඳීමට සමත් වුණු නමුත් සිදුවීමට සම්බන්ධ සැකකරුද සිය ජීවිතය අහිමි කරගෙන තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 March 2021 11:55

Related items