April 26, 2024

පාස්කු කොමිෂන් වාර්තාවේ අඩුපාඩු රැසක් ඇති බව රනිල් කියයි

February 27, 2021

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොල්ලූපිටිය පස් වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් නොවීම විශාල අඩුවකැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වන දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ. සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කරා දැයි සිතිය නොහැකියි. ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකන්ම නිකන් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ. උඩරට නීතිය අහෝසි කරන ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප්‍රායෝගිකද? දහම් පාසල් පාලනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමටයි."

Rate this item
(0 votes)