April 27, 2024

රවීට එජාපයෙන් කැපිල්ලක්! රවීගේ තනතුර අකිලට - නවීන් තනතුර භාර නොගනී

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය ඊයේ පත් කෙරුණු අතර, මෙතෙක් එහි උපනායක ධුරය දැරූ රවී කරුණානායකට එම ධුරය අහිමිවී ගොස් තිබේ.

නව නිලධාරින් තෝරා පත් කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පෙරවරුවේ රැස්වුණේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදීය.

එහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතා පත්කෙරුණු අතර, නව මහලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේ පාලිත රංගේ බණ්ඩාර මහතායි.

නියෝජ්‍ය නායකවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා යළි පත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරිමට තීරණය කර ඇති අතර, පක්ෂ භාණ්ඩාගාරිකවරයා ලෙස යළි පත් කර ඇත්තේ ඒ.එස්.එම් මිස්බා මහතායි.

එසේම, වැඩබලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ ශමල් සෙනරත් මහතා පක්ෂයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවදුරටත් දරණ බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත.

මීට අමතරව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස අර්ජුන රණතුංග සහ ඩී.එම්.ස්වාමිනාදන් යන මහත්වරුන් පත් කර තිබේ.

දයාගමගේ සහ සාගල රත්නායක පත් කර ඇත්තේ උප සභාපතිවරුන් ලෙසයි. එසේම, නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස නාලක කොලොන්නේ මහතාද නීති ලේකම්වරයා ලෙස නිශ්ශංක නානායක්කාර මහතාද ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස සන්දිත් සමරසිංහ මහතාද පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ සමීක්ෂණ අංශයේ සභාපතිවරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, තමා ඊයේ දිනයේ ජාතික සංවිධායක ධුරය යළි භාර නොගත් බවත් ඒ සම්බන්ධයෙන් වන තීරණය දින 10 ක් ඇතුළත ප්‍රකාශ කරන බවත්, නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඇතුළු නියෝජිතයන් 4 දෙනෙකු සහභාගි වී නොමැත.

Rate this item
(1 Vote)