April 27, 2024

රනිල් අකිලගේ ගුණ වයයි - අකිල රනිල්ව මඟහරී

December 28, 2020

මීට ටික දිනකට පෙර පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයට කළ සේවය අගය කරමින් අදහස් දක්වා තිබේ.

පක්ෂ නායකයා හිටපු මහ ලේකම්වරයාව අගය කළ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අකිල විරාජ් කාරියවසම් මහතා වර්ජනය කර තිබෙන බවද වාර්තා වේ.

අකිල විරාජ් කාරියවසම් මහතා මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වික්‍රමසිංහ මහතාට දුන් අවස්ථාවේ වික්‍රමසිංහ මහතා විසින් එය ප්‍රතික්ෂේප කළ බවද දැනගන්නට තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා මහ ලේකම්වරයා ලෙසත් පක්ෂයේ ක්‍රියාකාරියකු ලෙසත් පක්ෂයට කළ සේවය අගය කළ වික්‍රමසිංහ මහතා ඔහු ආදර්ශයට ගත යුතු පුද්ගලයකු ලෙසද කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ සදහන් කොට තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා පුරප්පාඩුව තිබෙන එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරය ඉල්ලමින් දිගින් දිගටම පක්ෂ නායකත්වයට බලපෑම් කර තිබෙන බවද ප්‍රසිද්ධ කරුණකි.

විටෙක කාරියවසම් මහතා තමාගේ නම ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු හා වික්‍රමසිංහ මහතා අතර වචන හුවමාරුවක් ද සිදු වූ බව ප්‍රකට කරුණකි.

Rate this item
(2 votes)