April 26, 2024

"අපි ආණ්ඩුවේ ඉඳලා වැඩක් නෑ" - ඇමති ප්‍රසන්නගෙන් සැර කතාවක්

December 24, 2020

ආණ්ඩුව පත්වූයේ ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීමට බවත් ජනතා අවශ්‍යතා ඉටුකල නොහැකි නම් ආණ්ඩුවේ ඉඳිමෙන් ඵලක් නැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ දේශපාලඥයන් මෙන්ම රජයේ නිලධාරීන් ද යැපෙන්නේ ජනතා මුදලින් බවයි.

ඒ නිසා ලැබෙන වැටුපට සාධාරණය ඉටුකිරීම සියලු දෙනාගේ වගකීම බවද ඇමතිවරයා අවධාරණය කරයි.

ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහන මඟින් ගමේ සියලු ගැටලු වලට විසඳුම් ලබාදෙන බව පැවසූ ඇමතිවරයා ඒ සඳහා රජයේ නිලධාරීන්ගේ සහය අත්‍යවශ්‍ය බවද අවධාරණය කරයි.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ “ගම සමග පිළිසඳර – වැඩ සමග යළි ගමට” වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සදහා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

"යම් කිසි ගමක පැල්පතක් තියෙනවා නම් පාර හැදිලා නැත්නම්, ඉස්කෝලේ ගරා වැටිලා නම් ඒ ගමේ මහජන නියෝජිතයන් වගේම ඒ ගමේ වැඩකරන රාජ්‍ය නිලධාරීන්ද ඊට වගකිව යුතුයි. මේ වසර දෙක අවසන් වනවිට මිනුවන්ගොඩ ආසනයේ එක පැල්පතක් තියෙන්න බෑ. කාපට් නොකෙරෙනු, කොන්ක්‍රීට් නොකෙරුන පාරක් තියෙන්න බෑ. ගරා වැටුන ඉස්කෝලයක් තියෙන්න බෑ. එහෙම වුනොත් මම ඉඳලා වැඩකුත් නෑ. පලාත් පාලන නියෝජිතයෝ ඉඳලා වැඩකුත් නෑ. ඒ ගමට ඉන්න රාජ්‍ය නිලධාරීන් ඉඳලා වැඩකුත් නෑ. ආණ්ඩුව පත්වූයේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න. එහෙම බැරිනම් අපි ආණ්ඩුවේ ඉඳලා වැඩක් නෑ. ඒ හින්දා මේ වැඩසටහනට සියලුම රජයේ නිලධාරීන්ගේ සහාය අපට ලබාදෙන්න. අපි හැමෝම යැපෙන්නේ ජනතාවගෙ මුදලින්. අපි වගේම රජයේ නිලධාරිනුත් එමහමයි. අපි කන්නේ බොන්නෙ ජනතා මුදලින්. ඒ ලැබෙන වැටුපට, පහසුකම් වලට සාධාරණය ඉටුකිරීම අපේ වගකීමක් . 2021 කියන්නේ වැඩ කරන අවුරුද්දක්. ඒ සඳහා සූදානම් වෙන්න. ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(2 votes)