March 29, 2024

බිත්තර වැඩේට මම නැහැ: ප්‍රසන්න අත පිහදා ගනියි

ඊයේ (30) ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේග සමුළුවට බිත්තර ගැසීමට ආ පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගි වූවන් විසින් අල්ලාගෙන නිට්ටඹුව පොලිසියට බාර දුන්නා.

තමන් ඇතුළු 16 දෙනෙකු බිත්තර ගහන වැඩේට ආ බවයි අල්ලාගත් දෙන්නා ප්‍රකාශ කළේ.

චෝදනා එල්ල වූ දෙපළ

ජාතික ජන බලවේග සමුළුවට බිත්තර ගැහිල්ල පිටිපස ආණ්ඩුවට හිතැති ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති මහතා සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සිටින බවටයි තොරතුරු වාර්තා වූනේ.

ඊට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ සිය මුහුණු පොතේ සටහනක් තබමින්.

ප්‍රතික්ෂේප කිරීම

කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති සිද්ධියට අදාළ සමුළුවට තමා සම්බන්ධ බවට මාධ්‍ය ඔස්සේ යන කතාව බොරු බවයි ඔහු කියන්නේ.

එම සිද්ධිය තමා තරයේම හෙළා දකින බව අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව ඕනෑම ස්ථානයක දේශපාලන රැස්වීමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන් පිළිගන්නා බවත් අනාවරණය කරමින්.

බිත්තර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණයක් කොට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස මම දැනටමත් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා අවසන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇවන්ගාඩ් නිහඬ බව

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අනෙක් පුද්ගලයා වන නිස්සංක සේනාධිපති මහතා තවමත් ඒ ගැන කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

නිශ්ශංක සේනාධිපති මහතා කලක සිටම ජනතා විමුක්ති පෙරමුණ සමග විරසකයකින් පසු වන කෙනෙක්.

එම පක්ෂයට කිසිදු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම වැළැක්වීම සඳහා තමන් රු. මිලියන 500 ක් වුණත් වියදම් කිරීමට සූදානම් බව පසුගිය මහ මැතිවරණයේදී ඔහු ප්‍රසිද්ධියේම කියපු කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 January 2022 17:59