April 26, 2024

කබීර් හෂීම් රහස් රැසක් හෙළි කරයි - මෛත්‍රී බොරුකාරයෙක් බව කියයි

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු මුස්ලිම් මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූයේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට මිස රිෂාඩ් බදියුදීන් මහතා ආරක්ෂා කිරීමට නොවන බව සමඟි ජනබලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පාස්කු ප්‍රාහරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත සාක්ෂි දෙමිනි. 

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වු එම  විශ්වාසභංග යෝජනාව පැවැති ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කළ බව මෙහිදී කබීර් හෂීම් මහතා සඳහන් කළේය. 

එම කාලය තුළ තමන් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පක්ෂය නියෝජනය කරන සිංහල බෞද්ධ මන්ත්‍රිවරුන් තමන් වෙත පැමිණ පැවසූයේ විශ්වාසභංගය වේලාවෙ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී  සිදුවනු ඇති බව යැයි කබීර් හෂීම් මහතා පැවසුවේය.  

''මොකද ඒ වෙද්දී ඔවුන්ට තම ජන්දායකයින්ගෙන් විශාල බලපැමක් එල්ල වෙලා තිබුණෙ, ඡන්ද ප්‍රකාශ කරලා ගමට යන්න බැරි වෙයි කියලා  අපෙ මන්ත්‍රිවරු කිව්වා. මම පක්ෂ සභාපති ලෙස  එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිව්වා මේක දාලා තියෙන්නේ අපිව ආණ්ඩුවක් විදියට පරාජය කරන්න කියලා. ඉන්පසු මම රිෂාඩ් බදියුදීන් මහතා හමුවෙලා කතා කළා,ඔහුට ඇමැති ධූරයෙන් ඉවත් වෙන්න කිව්වම බෑ කිව්වා. ඒ අවස්ථාවේ රතන හාමුදුරුවෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තිබ්බා. මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහිව විශාල ජනමතයක් ගොඩ නැගෙමින් තිබුණා.''

අනතුරුව තමන් අගමැතිවරයා හමුවී තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනව බව දැන්වූ බව කබීර් හෂීම් මහතා කියා සිටියේය. 

''හැමෝම තනතුරුවලින් ඉවත් වුණාම විශ්වාසය ගොඩ නැගෙයි කියලා හිතුවා. අප සමග රිෂාඩ් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීම එක්ක විපක්ෂයට ඔවුන් ගෙනා විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්න සිද්ධ වුණා.'' යනුවෙන් තවදුරටත් කබිර් හෂිම් මන්ත්‍රිවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය. 

''මම ඒ මොහොතේ පක්ෂයෙ සභාපති,මට වගකීමක් තිබුණා ජන්දයක් ආසන්නයේ පක්ෂය ආරක්ෂා කරන්න, මම ඒ වෙලාවේ ඉවත් වුණේ එක්සත් ජාතික පක්ෂය ගැන සහ රට ගැන සිතලා'' 

මේ අතර අන්තවාදීන් සහ ගොඩනැගෙමින් තිබෙන ඔවුන්ගේ  ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයට දෙවතාවක් ඉතා තදින් දැනුවත් කළ බවද හෙතෙම පැහැදිලි කරන ලදී.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට කියා සිටියේ, ''ඔබ කියූ කරුණු අපේ අවධානයට ගෙන තිබෙනවා, ආරක්ෂක මණ්ඩල රැස්වීමෙදි  අන්තවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවක මෙම අන්තවාදී ක්‍රියාකාරකම් ගැන ඔබ දන්නා කරුණු පිළිබඳ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කිරීම සදහා කැඳවීමක් සිදුකරන බව'' යන්නයි. 

එහෙත් කට වචනයෙන් හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසුවත්, කිසිසේත්ම නිල වශයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා එවැනි  නිල ආරාධනාවක් නොලැබුණු බවද  කබීර් හෂීම් මහතා අවධාරණය කළේය. 

''මම කැබිනට් මණ්ඩලයේ දී  දැනුවත් කළා මාගේ ආරක්ෂාව පවා වැඩි කරන්න කියලා. මොකද මාව  ඉලක්ක කරගන්න බැරි නිසා තමයි අන්තවාදින් මගෙ ලේකම්වරයා ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කළේ . නමුත් මගෙ ආරක්ෂාව එහෙම වැඩි කිරිමක් සිද්ධ වුණෙ නැහැ.'' යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය. 

මෙහිදී සාක්ෂිය මෙහෙය වූ  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පැවසුවේ  ''මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් විදේශ කටයුතු අමාත්‍යංශයට අනුයුක්ත නිලධාරිනියක් සඳහන් කර තිබෙනවා මෙරට යම් යම් ආයතන සහ සංවිධාන වලට තුර්කියේ ක්‍රියාත්මක  FETO ත්‍රස්ත සංවිධානය සතු මුදල් යොදවා තිබෙන සංවිධාන සහ ආයතන තහනම් කිරීමට පියවර ගන්න කියලා තුර්කි තානාපති ඉල්ලීමක් කර ඇති බව. එහෙත් එවැනි සංවිධාන සහ ආයතන තහනම් කිරීම සඳහා ඔබ සහ තවත් මුස්ලිම් දේශපාලනඥයෙකු බලපෑම් එල්ල කර තිබෙනවා කියලා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පුද්ගලයන් සඳහන් කර තිබෙනවා, ඒ ගැන මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ''  යනුවෙනි. 

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තුර්කිය තුළ ක්‍රියාත්මක ''ෆෙටෝ'' නම් ත්‍රස්තවාදී සංවිධාන සමග තමන්ට කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

තමාට දේශපාලනික වශයෙන් පහර ගැසීම අරමුණු කරගනිමින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කර ඇති බව පෙන්වාදුන්නේය. 

ඔහු වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවේ තුර්කිය හා සම්බන්ධ කිසිදු ආයතනයක කොටස් හෝ ගණුදෙනු තමා සතුව නොමැති බවයි.

මීට පෙර අවස්ථාවක හිටපු අමාත්‍ය වසන්ත සේනානායක මහතාද මේ ආකාරයේම ප්‍රකාශයක් සිදු කළ බවක් තමා මාධ්‍ය ඔස්සේ දැනගත් බවද  හිටපු අමාත්‍යවරයා සාක්ෂි දෙමින් පවසන ලදී. 

''මේ චෝදනාව ඉතාම අපැහැදිලි චෝදනාවක්,මේ පරීක්ෂණවලට මම බලපෑම් කරලා තියෙන්නේ කොහොමද කියන එකවත් මම හරි හැටි තවම දන්නැහැ, මට මේ තුළින් ලොකු අසාධාරණයක් වෙලා තිබෙනවා, ඒ ගැන මට කතා කරන්නවත් තැනක් හරියට තිබුණෙ නැහැ'' යනුවෙන් හෙතෙම  තවදුරටත් කියාසිටියේය. 

සියලුම මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවන බවත් තමන් ඉස්ලාම් ආගම අදහන ශ්‍රී ලාංකිකයෙකු බවත් කබීර් හෂීම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Rate this item
(0 votes)