May 19, 2024

ඉදිරි මාස 3 තීරණාත්මකයි! අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් Featured

ඖෂධ සහ උපකරණ වල හිඟය හේතුවෙන් ඉදිරි මාස 3 ඉතා අභියෝගාත්මක කාලවකවානුවක් වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දුන්නේ බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි ශෛල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

ඖෂධ හිඟය නිසා මතුව ඇති බරපතළ සෞඛ්‍ය අවදානමෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට රට තුළ උද්ගතව ඇති දැඩි ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය, රෝහල් කටයුතුවලට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බවය.

ඒ අනුව හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන streptokinase සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත්ය.

එමෙන්ම අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් පවසනවා.

හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන අයි.සී. ටියුබ්, (IC tube) සහ Intercostal tube මෙන්ම මුත්‍රා බටවල ද හිඟයක් පවතිනවා.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් සහ වේදනා නාශකයක් වන මෝෆින් හිඟවීම රෝගීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

පවතින ඖෂධ හිඟය මුල් කරගනිමින් ප්‍රදේශ කිහිපයක රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවල නිරත වුණා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 10 April 2022 10:04