May 19, 2024

රටේ අර්බුදයට එරෙහිව අදත් තැන තැන විරෝධතා

රට තුළ උද්ගතව ඇති අර්බුදවලට විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටිය අවට සහ ජනාධිපති කාර්යාලය අසල විරෝධතා සඳහා වෙන්කර ඇති භූමියේ ආරම්භ කළ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලින් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වුණා.

විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොර ආශ්‍රිත මාර්ග කිහිපයක් පොලිස් මාර්ග බාධක යොදා අවහිර කිරීමට පියවර ගෙන තිබූ අතර සමාජ ක්‍රියාකාරීන් සංවිධාන කළ විරෝධතාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් එක්ව සිටියා.

මේ අතර, රටට විශාල වෙනසක් අවශ්‍ය වී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ අද පැවති විරෝධතාවක් අමතමින්.

එසේම, පාස්කු ප්‍රහාරයට කඩිනමින් යුක්තිය ඉල්ලා සහ වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයට විරෝධය පළකරමින් පිරිසක් කටුවාපිටියේ සිට කොළඹ කොච්චිකඩේ පල්ලිය දක්වා පාගමනක නිරත වුණා.

යුක්තිය ඉල්ලා විරෝධතා පාගමන - යන්න තේමා කරගත් මෙම පාගමන ආරම්භ කිරීමට පෙර ඔවුන් ආගමික වතාවත්වල නිරත වෙමින් යාඥාවන් සිදුකළා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීම සහ ජනතාව පත්ව ඇති අපහසුතාවන්ට කඩිනමින් විසඳුම් ඉල්ලා සිටිමින් කටුවාපිටිය දේවස්ථානයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ අද පෙරවරු 10ට පමණයි.

කටුවාපිටිය දේවස්ථානයෙන් ඇරඹි විරෝධතා පා ගමනේ ගමන් මාර්ගය වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කටුනායක ශාන්ත පේදුරු පාවුළු දේවස්ථානය, තුඩැල්ල අඩක්කල මාතා දේවස්ථානය, කඳාන හැඳල හන්දිය ඇලකන්ද ඔස්සේ කොච්චිකඩේ පල්ලිය දක්වායි.

කිලෝමීටර් 36 ක පමණ දුරක් පාගමනින් පැමිණි කටුවාපිටිය - කොච්චිකඩේ දක්වා වූ මාර්ගයේ ප්‍රධාන නගරවල මඳ වේලාවක් රැඳී සිටිමින් විරෝධය දැක්වුවා.

මෙම පාගමනේ යෙදුණු පිරිසට එම මාර්ගයේ විවිධ නගරවලදී ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමට ස්වෙච්ජාවෙන් පිරිස් එක්ව සිටියා.

කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි පිරිස එහිදී ආගමික වතාවත්වලද නිරත වුණා.

මේ අතර සර්වආගමික උද්ඝෝෂණයක් මීගමුව ග්‍රීන්පාක් මංසන්ධියේදී මීගමුව කතෝලික සාශනාරක්ෂක බල මණ්ඩලය විසින් සංවිධාන කර තිබුණා.

ඊට ධීවර සමිති ඇතුළු සංවිධාන කිහිපයක්ද එක්වුණා.

උද්ඝෝෂණය හේතුවෙන් මීගමුව - හලාවත පරණ පාර ග්‍රීන් පාර්ක් හන්දියෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා.

අනතුරුව පොලීසිය මැදිහත්ව විකල්ප මර්ග ඔස්සේ ගමන් කිරීමටයි විරෝධතාකරුවන්ට උපදෙස් ලබාදුන්නේ.

ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයක් සහ විරෝධතා පා ගමනක් මහරගම නාවින්න බස් නැවතුම්පොල ඉදිරිපිට පැවැත්වුණා.

එම විරෝධතාකරුවන් හයිලෙවල් මාර්ගය ඔස්සේ දෙල්කද හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු එම ස්ථානයේ පන්දම් දල්වා විරෝධතාවක නිරත වුණා.

මේ අතර සමගි ජනබලවේගය සංවිධාන කළ විරෝධතා අද ස්ථාන කිහිපයකදී පැවැත්වුණා.

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ජනතාව පත්ව ඇති අපහසුතාවයන්ට විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවතුණා.

මේ අතර ජිවන වියදම ඉහල යාම ,ඉන්ධන සහ ගෑස් හිගය , විදුලි කප්පාදුවට රජයට එරෙහිව නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් අද (09) දින වසා දමා නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සේවකයින් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ගෝඨා ගෝ හෝම් යන සටන් පාඨය මුල් කර ගනිමින් උද්ඝෝෂණයේ නියැලි සිටින නුවරඑලියේ ව්‍යාපාරික ප්‍රජාව සහ උද්ඝෝෂණයට සහයෝගය දක්වන නුවරඑලිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව කියා සිටින්නේ රටේ පාලකයින්ගේ නොහැකියාව හමුවේ රටේ ජනතාව දැඩි පිඩාවට පත් වි ඇති බවයි.

ව්‍යාපාර කටයුතුද කඩා වැටිමේ අවධානමකට පත් වි ඇති බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වි වත්මන් රජයේ සියළුම පාලකයින් රට පාලනය කලහැකි පිරිසකට රට භාර දිය යුතු බවයි.

මේ අතර ඊයේ දිනයේ රැස් වූ නීතිපති දෙපාර්තුමේන්තුවේ නීති නිළධාරීන්ගේ සංගමය විශේෂ මහ සභා රැස්වීමේදී ගත් තීරණ අනුව පසුගියදා නීතිපති දෙපාර්තුමේන්තුවේ නව ගොඩනැගිලි සංකීර්ණයේ දොරටුව අභියස ඒකරාශී වූ නීතිඥවරුන්ගේ ආචාරධර්මයන් සහ හැසීරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

එමෙන්ම, නීතිපතිතුමා ඇතුළු නීතිපති දෙපාර්තුමේන්තුව පිළිබඳව කරන ලද පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් එම ක්‍රියාවන් හෙළා දකින බවත්, එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර රටේ උද්ගත වි ඇති වත්මන් අර්බුධයට විසදුම් ඉල්ලා හැටන් ප්‍රදේශයේ කතෝලික ප්‍රජාව නිහඩ විරෝධතාවයක් (09) දින පවත්වනු ලැබුවා.

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ සිට හැටන් නගරය හරහා පාගමනින් කතෝලික ප්‍රජාව නගර මධ්‍යට පැමිණ නිහඩ විරෝධතාවය පවත්වනු ලැබුවා.

මෙම නිහඩ විරෝධතායේදි මාධ්‍යට අදහස් දැක් වු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමන් කියා සිටියේ රටේ ඇති වි ඇති වත්මන් අර්බුධයට දේව ආශිර්වාදය ලැබි රටේ සියළු දෙනාට සාමයෙන් සහ සතුටින් ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය විය යුතු බවයි.

මේ අතර ජනතා ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක අද විවිධ කණ්ඩායම් විරෝධතාවල නිරත වුණා.

විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද එම රටවලදී විරෝධතා සංවිධාන කර තිබුණා.

Rate this item
(0 votes)