May 18, 2024

"රටට ලොකු වෙනසක්.. නව ආරම්භයක්" - කාදිනල් හිමිගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් ඔවුන්ට බලය ආරක්ෂා කර ගත නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ ‌අද දෙවියන් වහන්සේගේ සාපය මෙම පිරිසට වැදී ඇති බවයි.

මීගමුව නගර මධ්‍යයේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළා.

"ශ්‍රී ලංකාවේ ඉතාමත් විනාශකාරී වූ ලේ වැගිරීම අපිට අමතක කරන්න බැහැ. බලයේ ඉන්න රජය එදා ජන්දෙන් ඉදිරිපත් වෙද්දී ඒ සිද්ධිය සම්පුර්ණයෙන්ම ඒ ගොල්ලෝ පාවිච්චි කළා. අපිට තේරුණා එදාම මේ මහා විනාශය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා දැන් අපිට හෙලිදරව් වී යනවා කවුද කුමන්ත්‍රණකාරයෝ කියලා. කුමන්ත්‍රණකාරයන්ට බලය අල්ලා ගන්න පුළුවන් නමුත් බලය ආරක්ෂා කර ගන්න බැහැ. දෙවියන් වහන්සේගේ සාපය ඔවුන්ට ලැබිලා තියෙනවා. බලය අල්ලා ගත්තට වැඩක් නැහැ බලය හරියට පාලනය කරන්න ඒ අය දන්නේ නැහැ.

දැන් අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දෙගොල්ලෝම එකතුවෙලා නාටකයක් රඟපානවා වගේ අපිට පෙනවා. ඒ නාට්‍ය රඟපාලා අපිව මෝඩයන් හැටියට සලකලා.. අපිට ඒ තත්ත්වයෙන් මේ කරන ක්‍රමවේදය පිළිගන්නැයි කියන එක වැරදියි. අපි එහෙම භාරගන්න කැමති නෑ. අද අපිට අවශ්‍යයි රටට ලොකු වෙනසක්. නව ආරම්භයක්. දැන් අපේ විදේශ ඇමතිතුමා අපේ මුදල් ඇමතිතුමා යන්න ඕනේ IMF එකට ණය ඉල්ලන්න. රටවල්වලට ගිහිල්ලා අතදිගු කරන්න ඕනේ.. හිඟා කන්න. ඊයේ මං පත්තරේ දැක්කා ඉන්දියාවේ හිඟන්නෙක්.. එයා එකතු කරපු සල්ලි වගයක් ලංකාවට දෙනවා කියලා. ඒ කියන්නේ අපි හිඟන්නන්ගේ තත්ත්වයටත් එහා යන තත්ත්වයකට වැටුණයි කියන එකයි.

මේ තත්ත්වය දිගටම කරගෙන යන්න දෙන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මේ රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න.. ඔක්කොමත් එක්කම. එකතුවෙලා මේ අයට කියන්න කරුණාකරලා.. යන්න දැන් ඇති රට කෑවා.. යන්න කියලා. ගිහිල්ලා.. මේක කරන්න පුලුවන් කෙනෙක්ට රට භාර දෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහිල්ලා සියලුමදෙනා පාරට බැහැලා.. මේ දූෂිත ක්‍රමවේදය ඉවත් කරන්නට කටයුතු කරන්න ධෛර්යවන්තව.”

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලීම මෙන්ම පවතින ආර්ථීක අර්බුදවලට විරෝධය පළ කරමින් මීගමුව නගරයේ විරෝධතාවයක් පැවත්වුණා.

කටුවාපිටිය දේවස්ථානය ඇතුළු දේවස්ථාන කිහිපයක දේව මෙහෙයන්වලින් අනතුරුවයි මෙලෙස ජනතාව මීගමුව නගරයට රැස්වී විරෝධතාවයේ නිරත වුණේ.

ඔවුන් ඊයේ (09) කොච්චිකඩේ දේවස්ථානය වෙත විරෝධතා පා ගමනක් ද ආරම්භ කළා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ලක්වී මියගිය අය සිහි කිරීමට ඔවුන්ගේ ඥාතීන් පිරිසක් අනතුරුව කටුවාපිටිය සුසාන භූමියට පැමිණ සිටියා.

ඔවුන් ඉල්ලා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම අවස්ථාවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ද එක්ව සිටියා.

අනතුරුව එම පිරිස කටුවාපිටිය දේවස්ථානයේ පැවැති දේව මෙහෙයට සහභාගි වුණා.

දේව මෙහෙයෙන් අනතුරුව විරෝධතා පා ගමනක් ආරම්භ කළ පිරිස මීගමුව නගරයට පැමිණියා.

විරෝධතා පා ගමනේ නිරත ජනතාව මීගමුව දුම්රිය හරස් මාර්ගය ආසන්න ප්‍රදේශයේ රැස්ව උද්ඝෝෂණයකද නිරත වුණා.

මෙම අවස්ථාවට අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ද සහභාගි වුණා.

එහිදී කාදිනල් හිමියන් රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම ඉල්ලා සිටියේ මෙම ක්‍රමය වෙනස් කරන්න එකතුවන ලෙසයි.

විරෝධතාවයේ නිරත ජනතාව පසුව කොච්චිකඩේ දේවස්ථානය බලා විරෝධතා පා ගමනක් ආරම්භ කළා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 10 April 2022 09:31