May 19, 2024

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ල කුලියට ගත්තේ රජයේ තක්සේරුවට පස්ස ගහලා! හිමිකරුගෙන් අසාමාන්‍ය කොන්දේසි

2002 වර්ෂයේයේදී බත්තරමුල්ල රජමල්වත්ත මාවතේ ''ගොවිජන මන්දිරය'' යන ලිපිනයේ ස්ථාපිත කර තිබු කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැරණි ගොඩනැගිලි සංකීර්ණය 1996 වර්ශයේදී සැලසුම් කර ඉදිකර තිබු අතර වර්ග අඩි 66500 ක ප්‍රමාණයක වූ එම ගොඩනැගිලි පරිශ්‍රය පහත සදහන් පහසුකම් සහිතව ඉදිකර තිබුණි.

1. මහල් 03 කින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ල
2 ශ්‍රවණාගාරයක්, මහජන අවශ්‍යතා ඉටු කීරීමට අවශ්‍ය ඉඩකඩ සහිත ගොඩනැගිලි
3 ස්ථිර භෝග සහ අනෙකුත් භෝග වලින් පිරි පරිසර හිතකාමී වටපිටාව
4 දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ කරගත් හෙල බොජුන් හල
5 සාම්ප්‍රදායික සහල්, බීජ වර්ග හා පැල අලෙවි සැල
6 වාහන නවතා තැබීමේ පහසුකම් රියදුරු නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ල

තවද හෙක්ටයාර 17,199ක ප්‍රමාණයේ ඉඩකඩ සහිතවූ මෙම ඉඩමේ ආදර්ශමත් අයුරින් පිලියෙල කර තිබූ ගෙවතු පරිසරයක් පැවතීම මෙම පරිශ්‍රයේ විශේෂත්වයක්.

සෙත්සිරිපායට යන්න අනුමැතිය

පරිශ්‍රය තුල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගොස් තිබු අතර 2015 සැප්තැම්බර් 21 වන දිනැති එවකට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රතිසංස්කරණ හා අතිරේක කාර්යාලවලට ඉඩකඩ මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බැලීමෙන් අනතුරුව එම ගොඩනැගිලි පරිශ්‍රය පාර්ලිමේන්තු කාරක සභා හා අතිරේක කාර්යාල ඉඩකඩ ලබා ගැනීමේ අරමුණූ ඉටුකර ගැනීම වෙනුවෙන් ලබාදීමට 2015 ඔක්තෝබර් 08 වන දිනැති අංක අමප/15/1301/702/007 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී තිබුණා.

තවද එම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය, සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලහි ස්ථාපිත කිරීමට අනුමැතිය ලබා දී තිබුණා.

බත්තරමුල්ල රජමල්වත්ත මාවතේ පිහිටි ගොවිජන මන්දිරයේ පැවති කෘෂිකර්ම අමාත්‍යාංශය පැවති ගොඩනැගිලි සංකීර්ණයේ පවත්වා ගෙන ගොස් තිබු තිරසාර සංවර්ධන හා වනජීවි, වාරීමාර්ග, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ වලට අදාල කාර්යාල මෙම තීරණයත් සමඟ ඉන් ඉවත් කර වෙනත් ස්ථාන වලට රැගෙන ගොස් තිබු බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිලි අවශ්‍යතාව සැලකිල්ලට ගැනීමේදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමස්ථ කාර්ය මණ්ඩලය 300ක් වන අතර ඒ සඳහා ගොඩනැගිලි අවශ්‍යතාවය පමණක් සැලකිල්ලට ගැනීමේදි පැරණි ගොඩනැගිල්ලේ පැවති සමස්ථ වර්ග ඵලයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පමණක් අවශ්‍යව තිබූ ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 66,500 ක් පමණ විය.

ඉඩ නෑ කියා කුලියට යයි

අමාත්‍ය මණ්ඩල තීරණය මගින් සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලෙහි කෘෂිකාර්ම අමාත්‍යාංශයෙහි කටයුතු පවත්වා ගෙන යාමට අනුමැතිය ලබා දී තිබුණ ද එම සෙත්සිරිපාය නව ගොඩනැගිලෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යාම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් හිටපු අගමැතිවරයා විසින් රාජගිරියේ පිහිටි DPJ නම් පෞද්ගලික ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2016 පෙබරවාරි 17 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2016 මාර්තු 10 දින අංක අමප/16/0309/702/010 දරණ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා.

ඒ අනුව රාජගිරිය අංක 288 ස්ථානයේ පිහිටී පෞද්ගලික ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යවරයා පරීක්ෂා කර බැලු බවත් එම ගොඩනැගිල්ල බදු පදනමින් ලබා ගැනීම සඳහා ගොඩනැගිල්ලේ මිල ප්‍රතිෂ්ඨාව අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් මගින් තීරණය කීරිමටත්, අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන වල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි හා අනෙකුත් පහසුකම් ලබා ගැනීමටත් අමාත්‍යවරයා විසින් 2015 දෙසැම්බර් 01 දින සංදේශයක් මගින් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඉල්ලා තිබුණා.

බිල්ඩිම සාප්පු සංකීර්ණයකට හදපු එකක්

වරිග අඩි 103,000 ක ප්‍රමාණයෙන් යුත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සඳහා බදු පදනමින් ලබා ගත් නව ගොඩනැගිල්ල විශේෂයෙන් සාප්පු සංකීර්ණයක් සඳහා භාවිතා කිරීමට සැලසුම්කර තිබුණු බව නිරීක්ෂණය විය.

තවද මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂකගේ‍ 2010 දෙසැම්බර් 13 දිනැති අංක 05/05/010/190/29/2010 දරන ලිපිය මගින් දක්වා තිබූ කොන්දේසි 03 ක් සපුරාලීමට යටත්ව එහී ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා දී තිබුණා.

එම කොන්දේසි නම්,

1.අනුමත මහල් ප්‍රමාණය මහල් 07 ක් වීම
2.ගොඩනැගිල්ලේ මහල් අතර උස මීටර් 30 කින් යුක්තවීම
3.වාහන 59ක් ආල් කලහැකි රථ ගාලක් තිබීම
නමුත් මෙම ගොඩනැගිල්ල මහල් 10 ක් සහිතව (යටි බිම් මහල සහිතව)සහ අනුමත උසට වඩා අඩි 33 කින් යුක්තව ඉදිකර තිබුණි.

මෙම ගොඩනැගිල්ලේ මූලික් පහසුකම් සම්බන්ධයෙන් හදුනාගෙන තිබූ ලක්ෂණ නම්,

1.ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය වර්ග අඩි 103000 කින් යුක්තවීම.
2.ගොඩනැගිල්ලේප්‍රවේශ පහසුකම් ප්‍රමාණවත් නොවීම.
3.මූලික සේවාවන් සපයා නොමැති වීම.එනම්, සපයාතිබූ විදුලි ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හෝ අලුත්වැඩියා කලයුතු වීම,කාමර වෙන්කර නොතිබීම,බුමුතුරුණු අතුරා නොතිබීම,සනීපාරක්ෂක පහසුකම් ඉදිකර යුතුව තිබීම,විදුලි සෝපාන පහසුකම් වැඩි දියුණු කිරීමට සිදුවීම.
4.කාර්යාල උපකරණ බාහිරව සපයා ගතයුතු වීම.

ගොඩනැගිල්ල බදු පදනම යටතේ ලබාගන්නා අවස්ථාව වනවිට සම්පූර්ණ කලයුතුව තිබූ ඉහත සඳහන් ප්‍රධාන අවශ්‍යතා සඳහා දැරීමට සිදුව තිබූ අමතර සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 342.7 ක් වුණා.

කෘෂි ඇමතිගේ සංදේශය

නව ගොඩනැගිල්ල පරීක්ෂාකර එම ගොඩනැගිල්ල කුලියට ගැනීමටත්, ගොඩනැගිල්ලේ මිල ප්‍රතිෂ්ඨාව විශේෂ කමිටුවක් මගින් තීරණය කිරීමටත් 2015 දෙසැම්බර් 01 වන දින කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණා.

එසේ තිබියදී එම ගොඩනැගිල්ලේ හිමිකරු විසින් 2016 පෙබරවාරි 10 වන දිනැති ලිපියෙන් වර්ග අඩියක් රුපියල් 167.50ක් (වට්ටම් අඩු කිරීමට පෙර) බවද, බදු කාල සීමාව අවම වශයෙන් අවුරුදු 05 ක් බවද, දන්වා තිබූ අතර අවුරුදු 3කින් පසු 15% ක බදු කුලිය වැඩිවීමක් හා මාස 24 කුලී අත්තිකාරමක් අවශ්‍යබව දන්වා තිබුණා.

නමුත් රජයේ තක්සේරුකරුගේ තක්සේරු වාර්තාවට අනුව වර්ග අඩියක කුලිය රුපියල් 150ක්වූ අතර ගොඩනැගිලි හිමිකරු විසින් ඉදිරිපත් කරන ලද වට්ටම් අඩුකල පසු වර්ග අඩියකට කුලිය රුපියල් 166.67ක් වී තිබුණා.

හිමිකරුගේ ඉල්ලීම වැඩිපුර ගෙවලා

ඒ අනුව වර්ග අඩියක් සඳහා රුපියල් 16.67 ක මුදලක් ගොඩනැගිල්ලේ හිමිකරුගේ ඉල්ලීම අනුව වැඩිපුර ගෙවීමට තීරණය කර තිබූ බව වාර්තා වනවා.

තවද බදු කාල සීමාව වූ 2019 වර්ෂයේ මැයි සිට 2021 වර්ෂයේ අප්‍රේල් දක්වා මසකට රුපියල් මිලියන 21 බැගින් මාස 24 ක් සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 504ක් 2016 අප්‍රේල් 08 දින ගොඩනැගිලිහිමිකරුට ගෙවා තිබුණි.

තවද මු.රෙ. 835(2)(ඉ) ඡේදය අනුව බදු කාල සීමාව අවුරුදු 3 කට නොවැඩි විය යුතු වුවද ගිවිසුමේ සඳහන් අසාමාන්‍ය කොන්දේසි පහත සඳහන්.

1.අවුරුදු 5 ක කාලසීමාවකට ගිවිසුම් ගතව තිබීම සහ වර්ෂ 3 කට පසු 15% ක කුලිය වැඩිවීමක් සිදුකිරීමට එකග වීම.

2.මාස 24 ක මුදල් අත්තිකාරම් ලබාදීම සහ අවසාන අවුරුදු 2 දී මාසික බදු කුලී මුදල් සඳහා එය හිලවු කිරීමට පනවා තිබූ කොන්දේසිය මගින් එම ගිවිසුමේ ගිවිසුම් කාලය වසර 5 ක් දක්වා නොවෙනස්ව පවත්වාගෙන යෑමට ඉවහල්වන කොන්දේසිද ඇතුලත් කර තිබීම.

3.රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව වූ මාසික වෙළදපල කුලිය වූ රුපියල්මිලියන 13.5 ඉක්මවා රුපියල් මිලියන 6 ක සේවා ගාස්තුවක් ද ඇතුලත්ව රුපියල් මිලියන 21 ක කුලියක් ගෙවීමට එකගවීම.

තවද නව ගොඩනැගිල්ලේ නැවත තොරතුරු තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදුව තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 61.03ක් පිරිවැයක් දරා තිබුණා.

කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2.1 සහ 3.2.2. වගන්ති වලට අනුකූලව තරගකාරී ලංසු කැදවීමක් සිදුකල යුතු වුවද මෙහිදී ඊට අනුකූල නොවී තිබූ බව වාර්තා වෙනවා.

ඒ අනුව ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව විනිවිඳ භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1,524.44 ක් පමණ වැයකර පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනමට ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව රජයේ විගණන වාර්තාවෙන්ද යෝජනා කර තිබෙනවා.


හික්කඩුව - බුද්ධික වීරසිංහ 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 April 2022 13:29