May 19, 2024

ආණ්ඩුව බාර ගන්නා බව සජිත් කියයි! වැඩපිළිවෙලත් ප්‍රකාශයට

වත්මන් අර්බුදයේදී රට කරවීමේ වගකීම බාර ගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඔහු එහිදී සඳහන් කළේ එම වගකීම බාර ගන්නා විට තාඩන පීඩන මැද රටක් ගෙන යා නොහැකි බවයි.

ඒ සඳහා විපක්ෂ නායකවරයා යෝජනා කිහිපයක්ද සඳහන් කළා.

යම් යම් දේශපාලන ප්‍රතිසංස්කරණ, යම් යම් දේශපාලන තීන්දු තීරණ, යම් යම් ව්‍යවස්ථාමය වෙනස් කම් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අතර බලය බෙදීම කළ යුතු බවත් ඒ අනුව ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

වර්තමාන ජනාධිපතිවරයා සමග විකල්ප ගමනක් නැති බවත් රාජපක්ෂ පවුලෙන් ව්‍යුක්තව ආණ්ඩු කිරීමක් ගැන කතා කිරීමට සූදානම් බවත් ඔහු කියා සිටියා.

20 වැනි ව්‍යවස්ථාව යටතේ බිහි කළ සුපිරි බල තිබෙන විධායක ජනාධිපතිවරයකු යටතේ අන්තර්කාලීන හෝ භාර කාර ආණ්ඩුකිරීමට හැකියාවක් තියෙනවාද කියා තමන්ට ගැටළුවක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළිත් බලාත්මක කර 20 වැනි ව්‍යවස්ථාව අහෝසි කරමින් ආණ්ඩුව තමන්ට භාරදීමට කැමැති නම් තමන් ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බවත් එසේ නොමැතිව දේශපාලන ඩීල් දැමීමට සමගි ජනබලවේගය සූදානම් නැති බවද විපක්ෂ නායකවරයා අවධාරනය කළා.

"හොරුන් සමග මොන ආණ්ඩුද" යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළා.

පැන්ඩෝරා හොරකම, සීනි හොරකම, පාස්කු ප්‍රහාරය පිළිබදද අවධානය යොමු කරමින් මහ පාරේ දුක්ගින්දර තමන්ගේ තනතුරු සමග පටලවා ගැනීමට සූදානම් නැති බව ද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

ප්‍රතිපත්ති රකිමින් දේශපාලනයෙන් විශ්‍රාම යාමටද තමන් සූදානම් බවත් හොරුන් සමග වාඩි වී හොර ගිවිසුම් වලට සූදානම් නැති බව නැවත නැවතත් ඔහු අවධාරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 April 2022 09:07