May 18, 2024

මහින්ද ඉවතට - නව අගමැති පත් කරන්න රහස් ඡන්දයක්! අලුත් බලපෙරළිය කරන හැටි හිටපු අගවිනිසුරු කියයි

මේ වන විට පවතින ආණ්ඩුවේ අර්බුදයට විසඳුමක් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා යෝජනා කරනවා.

ඒ යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බවයි.

එ බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනපති මතය වැඩක් නෑ

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළා.

වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බවයි සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ.

"විධායකය දැන් සම්පූර්ණයෙන් කඩාවැටිලා. හැම තැනම ගියොත් ‘ගෝඨා ගෝ හෝම්’ කියනවා. අගමැතිතුමා දුබල වෙලා නිසා එතුමාත් අක්‍රීයයි. විධායකයෙන් අනෙක් අංගය වන කැබිනට් මණ්ඩලයක් තියෙනවද නැද්ද දන්නේ නැහැ." යැයි  හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කළා.

ක්‍රමවේද කිහිපයක්

"මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. පළමු ක්‍රමය නීති පැනවීමයි. දෙවැන්න ස්ථාවර නියෝග හෝ යෝජනා සම්මතය මගින්. 74 වන ව්‍යවස්ථාවේ මෙසේ ක්‍රියාත්මක විය හැකි බව තියෙනවා." ඔහු කියා සිටියා.

ජනාධිපතිවරයාගේ මතය ගැන හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේ "යෝජනා සම්මතය මගින් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමේ ක්‍රමවේදයක් දැමිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා 113ක් පෙන්වන කෙනාට දෙන බව කියනවා. මේ වගේ වෙලාවක එතුමාගේ මතය අවශ්‍ය නැහැ."

රහස් ඡන්දයක්

"පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්න නිසා අගමැතිධූරයට නම් යෝජනා කර රහස් ඡන්දයක් තුළින් සම්මත කරගත හැකියි. පළමු වටයේ බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යා හැකියි. අගමැතිවරයා දින 14කදී ඇමතිවරු 25කගේ නම් යෝජනා කළ යුතුයි. ඉන්පසු එයත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. ඔය ක්‍රියාදාමය සති දෙකක් තුළ ඉවර වෙනවා. එමෙන්ම මෙය සර්වපාක්‍ෂික විය යුතුයි. බහුතරය වෙන කෙනෙකුට ගිය සැණින් ඉන්න අගමැති අහෝසි වෙන නිසා වත්මන් අගමැතිවරයා ඉවත්වෙනවා. අපි මෙය පාර්ලිමේන්තුව තුළින් කරන බව කීවොත් ජනතාවගේ ඔය සැරත් යනවා. ඒ නිසා මෙය ඉක්මනින් කළ යුතුයි.” යැයි ඔහු අවධාරණය කළා.  

හිටපු අගවිනිසුරුවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (7) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 12:35