May 06, 2024

පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් - රියදුරන් පාර වසා දමයි

හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඩිසල් ඉන්ධන ලබා දෙන බලකරමින් වාහන හිමියන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (05) උද්ඝෝෂණයක නිරත වුණා.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (04) ඩිසල් ලිටර් 6600 ලැබුණු බවත්, එම ප්‍රමාණය දින ගණනාවක් ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිම් වල රැදි සිටින වාහන වලට ප්‍රමාණවත් නොවන බවයි ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලි පිරිස කියා සිටියේ.

ඊයේ (04) උදෑසන සිට හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් දෙක අසල සිට ප්‍රධාන මාර්ගය දිගේ වාහන විශාල සංඛ්‍යාවක් ඉන්ධන ලබා ගැනිමට ගාල් කර තිබු අතර තවත් පිරිසක් වාහන වලට ඉන්ධන ලබා ගැනිමේ අරමුණින් හිස් බූලි අතතිව රැදි සිටි බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

හැටන් පොලිසියේ නිලධාරින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස සමග සාකච්ඡා කර කියා සිටියේ මින් ඉදිරියට ඩිසල් ඉන්ධන බූලි වලට නිකුත් කිරිම සදහා අදාල වාහනයේ ලියකියවිලි රැගෙන පැමිණෙන ලෙසත්, හැටන් ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඩිසල් ඉන්ධන බවුසර් රථ දෙකක් ලබා ගැනිමට අදාල බලධාරින් සමග සාකච්ඡා කරන බවට වූ පොරොන්දුවක් මත උද්ඝෝෂණය තාවකාලිකව නතර කිරිමට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලි පිරිස පියවර ගැනුණා.

Rate this item
(0 votes)