May 14, 2024

නව ඇමති 4 ට ගම්මන්පිලගෙන් ප්‍රතිචාර: අලුත් බාල්දියෙන් සුපුරුදු නෑම පටන් ගෙන

මේ වන විට නව කැබිනට් ඇමතිවරුන් 4 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා.

එසේ දිවුරුම් දී තිබෙන්නේ ඊයේ (4) ඉල්ලා අස් වූ ඇමතිවරුන්ම පිරිසක්.

හිටපු කණ්ඩායම

ඔවුන්ගෙන් තිදෙනෙකු ඔවුන් දැරූ ඇමති විෂයන්හිම දිවුරුම් දී තිබෙනවා.

වෙනස් වී තිබෙන්නේ අධිකරණය ඇමැති ධූරය දැරූ අලි සබ්රි මහතාට බැසිල් රාජපක්ෂ මහතා දැරූ මුදල් ඇමතිකම ලබාදීම පමණයි.

මේ ඇමති දිවුරුම පිළිබඳව තවමත් ආණ්ඩුව නියෝජනය කරන උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සිය මතය ප්‍රකාශ කොට තිබෙනවා.

මුහුණු පොත සටහන

ඒ සිය මුහුණු පොතේ සටහනක් තබමින්.

"නව ඇමති මණ්ඩලයේ දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන්ගෙන ඇති බව පෙනේ" ගම්මන්පිල මහතාගේ සටහන ආරම්භ කොට තිබෙන්නේ එසේ සඳහන් කරමින්.

"අපට ඕනෑ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකි.එහි වගකීම අත්‍යවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි.පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි." ඔහුගේ එම සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ ආකාරයට.

කණ්ඩායමේ යෝජනාව

ගම්මන්පිල මහතා නව ඇමති මණ්ඩලයේ ගැන මෙසේ සඳහන් කරන්නේ ඔහු සමග සිටින විමල් වීරවංශ හා වාසුදේව නානයක්කාර යන මහත්වරුන් නායකත්වය දෙන ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම ආණ්ඩුව වෙත පවතින අර්බූදයට ඉදිරිපත් කළ විසඳුම යළි කඩාකප්පල් වීමත් සමඟයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී නව භාර කාර ආණ්ඩුවක් කෙටි කාලයකට පත් කරන ලෙසයි එම කණ්ඩායමේ ඉල්ලීමක් වූයේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (4) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට මුලින් කැමැත්ත පල කලත් පසුව එම අදහස වෙනස් කර ගත් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ගම්මන්පිල මහතා නියෝජනය කරන කණ්ඩායම භාර කාර රජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් කිරීමට සූදානමින් සිටියේ ඩලස් අලහප්පෙරුම මහතාවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 April 2022 14:05