May 04, 2024

සිංහරාජයේ සතුන් හොරකම් කළ ජර්මානු ජාතිකයන් දෙදෙනා රිමාන්ඩ්

සිංහරාජ රක්ෂිතයේ දුර්ලභ සත්ත්ව හා ශාක කොටස් ඇතුළු වෙරළබඩ තීරයේ ජීවත් වන බෙල්ලන් හා කකුළුවන් වැනි සත්ත්වයන් ජර්මනියට රැගෙන යාමේ ජාවාරමක නිරතවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ජර්මන් ජාතිකයන් දෙදෙනා ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වන ජීවී දෙපාර්තමේන්තුව මගින් අද දහවල් ඔවුන් මොරවක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් සන්තකයේ තිබියදී සොයාගන්නා ලද ශාඛ කොටස් සහ සතුන් හඳුනාගැනීම සඳහා අදාළ තොරතුරු වාර්තා කිරීමට කෞතුකාගාර අධ්‍යක්ෂකවරයාට සහ උද්භිද උද්‍යාන අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කර තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ සිංහරාජ වන අඩවි කාර්යාලය හා දෙනියාය පොලිසිය සිදු කළ වැටලීමකදීයි 47 හා 52 හැවිරිදි වියෙහි පසුවන මෙම සංචාරකයින් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ.

ඔවුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ග උපදේශකයෙකු හා පරිසර නියමුවෙකු සමග දෙණියාය සිංහරාජ කුරුලූගල මංපෙතේ සංචාරය කරමින් සිටියදී එක් ජර්මන් ජාතිකයෙකු විසින් ගසක සිටි කටුස්සෙකු හොර රහසේ අතින් අල්ලා සංචාරකයාගේ ගමන් මල්ලේ සඟවා ගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්.

පසුව එය දුටු අදාල මාර්ගෝපදේශකයා ඒ බව අදාළ පරිසර සංවිධානයට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

පසුව දෙනියාය පොලිසියේ නිලධාරීන් හා වනජීවි නිලධාරීන් එක්ව සැකකාර ජර්මන් ජාතිකයන් දෙදෙනා නවාතැන් ගෙන සිටි බව කියන දෙනියාය ප්‍රදේශයේ සංචාරක නිකේතනයේ කාමරය පරීක්ෂාවට ලක් කිරීමේදී , සූක්ෂම ලෙස ගබඩා කර තිබූ සත්ත්ව හා ශාක කොටස් අතර මුහුදු කකුළුවන්, මුහුදු බෙල්ලන්, ශ්‍රී ලංකාවට ආවේණික මැඩි විශේෂ, කැරපොත්තන්, දිමියන්, ආවේණික බීජ, කුහුඹුවන්, කඩොලාන විශේෂ සහ උපකරණ රැසක් සොයාගැනීමට හැකිවූ බවයි එම නිලධාරීන් සඳහන් කළේ.

Rate this item
(0 votes)