May 02, 2024

ගව පට්ටි ප්‍රශ්නයකට ඇමතිවරු දෙපලක් පැටලෙයි

කිරි ගොවි පළවල් සඳහා ඉඩම් ලබා දීමේදී පාරිසරික අමාත්‍යාංශ නිලධාරීන් පගා ඉල්ලන බවට කළ චෝදනාවක් මුල් කොටගෙන ඇමතිවරුන් දෙදෙනෙකු අතර වාග් සංග්‍රාමයක් ආරම්භ වී තිබෙනවා.

ඒ කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා පාරිසරික අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් අතර.

කිරිපිටි ආනයනය

කිරිපිටි ආනයනය කෙරේ අවධානය යොමු කළාට දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අවධානය යොමු නොකළ බව අලූත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ නිසා දිනෙන් දින දියර කිරි නිෂ්පාදනය අඩු වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ඊට පිළියම් ලෙස කිරි ගොවිපලවල් ඇති කිරීම සඳහා මහා පරිමාණ ආයෝජකයන්ට ඉඩම් ලබාදී බොහෝ කලක් ගත වූවත් ඒවා ආරම්භ කිරීමට නොහැකි වූයේ පාරසරික අමාත්‍යාංශය නිසා බවටයි අලූත්ගමගේ අමාත්‍යවරයා චෝදනා කරන්නේ.

මුදල් ඉල්ලීම

ඊට හේතුව පරිසර අමාත්‍යාංශය පරිසර වාර්තා ප්‍රමාද කිරීම බවත් අක්කර 25 ක ගොවිපළක් සඳහා පරිසර වාර්තාවක් හැදීමට පරිසර අමාත්‍යංශය රු. කෝටි 3 ක් ඉල්ලන බව ඔහු අනාවරණය කරනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ පරිසර අමාත්‍යාංශ නිලධාරීන්ගේ අරමුණ දේශීය දියර කිරි නිෂ්පාදනය අඩාල කොට පිටරටින් පිටි කිරි ගෙන්වීම ප්‍රවර්ධනය කිරීම බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පරිසර විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු දී තිබෙනවා.

විෂය භාර ඇමති

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා හැමදාම බොරු කිව්ව ඇමතිවරයෙක් මෙන්ම ගොවියන්ගේ අස්වැන්න අඩු කරන්න මහන්සියත් දැරූ කෙනෙක් ලෙසයි අමරවීර මහතා හඳුන්වා දෙන්නේ.

කිරි ගොවිපළවල් සම්බන්ධයෙනුත් අලූත්ගමගේ අමාත්‍යවරයා කියන්නේ පට්ටපල් බොරුවක් බව පෙන්වා දෙන අමරවීර මහතා ඊට පරිසර අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව සඳහන් කරනවා.

ගිය සතියේ අලූත්ගමගේ අමාත්‍යවරයා පරිසර අමාත්‍යාංශයට පැමිණ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් කළ බවද අමරවීර මහතා හෙළිදරව් කරනවා.

පොට පටලවා ගැනීම

අමරවීර මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ අලූත්ගමගේ අමාත්‍යවරයා කියන්නේ විශ්ව විද්‍යාල වලින් ඉල්ලන මුදලක් ගැන බවත් ඊට මධ්‍යම පරිසර අධිකාරියද වගකිව යුතු ආයතනයක් වන බවයි.

පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් රු. 100 ක් හරි අරගෙන තිබේනම් ඒ ගැන පරීක්ෂණයක් කරන බවත් සඳහන් කරන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන කම් තමා ඒ සියලු ව්‍යාපෘති තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් දුන් බවයි පෙන්වා දෙන්නේ.

අමරවීර මහතා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන අතර අලුත්ගමගේ මහතා ශ්‍රී.ල.නි.ප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සමඟ ප්‍රසිද්ධියේම ගැටුම් ඇති කරගෙන සිටින්නෙක්.

Rate this item
(2 votes)
Last modified on Monday, 21 March 2022 09:10