May 02, 2024

දුම්රිය ගාස්තුත් ඉහළට

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඉන්ධන මිල පමණක් හෝ පියවෙන අයුරින් දුම්රිය ගාස්තු ඉදිරියේ දී සුළු සංශෝධනයකට ලක් කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් ගාස්තු සියයට 15කින් ඉහළ දැමුණු අතර, මෙතෙක් රුපියල් 17ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 20 දක්වාත්, රුපියල් 1303ක්ව පැවති සාමාන්‍ය සේවා ඉහළම ගාස්තුව රුපියල් 1498ක් දක්වාත් ඉහළ ගියා.

කෙසේ වෙතත්, මෙම බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් විවිධ අදහස් පළ කරනවා. 

සමස්ත ලංකා පෞද්ගලික බස් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ, මෙම ගාස්තු වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, මෙම සංශෝධනය ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

මේ අතර, දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද පෙරවරුවේ හදිසියේ දුම්රිය ධාවනයෙන් ඉවත් වුණා.

ඊට හේතුව වී තිබුණේ, ගෙවීම්වලට අදාළව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කළ චක්‍රලේඛයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය මගීන් අපහසුතාවට පත්වූ අතර, කෙසේ වෙතත් දුම්රිය ධාවනය පසුව සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරුණු බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.

Rate this item
(0 votes)