May 17, 2024

දැන් කළ යුතු දේ ගැන මල්වතු - අස්ගිරි අනු නාහිමිවරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීට කියයි

මල්වතු - අස්ගිරි අනු නාහිමිවරුන් රටේ පවතින තත්වය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (15) උන්වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදියි.

රට දැඩි අසීරුතාවයට පත්ව ඇති අවස්ථාවේ කළ යුතුව තිබෙන්නේ ආණ්ඩු පෙරළීම නොව භේද දුරලා සියලුදෙනා එකතු වී රට ගොඩ නැගීම යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසා සිටියා.

කිසිවෙකු හෝ නොසිතූ ලෙස මේ අවස්ථාවේ අවාසනාවන්ත තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් සියලු දෙනා එකතු වී මෙයට මුහුණ දී ජයගත යුතුව තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළා.

මහ සංඝරත්නය සෑම විටම රජයට අනුශාසනු කරනු ලබන්නේ යහපත් දෙයක් අපේක්ෂාවෙන් බවත් මේ අවස්ථාවේ කිසිවෙකු හෝ අපේක්ෂා නොකළ පරිදි අර්බුද රැසක් පැන නැගී තිබෙන බවත් සියලුදෙනා එක්ව මෙම තත්වයට මුහුණ දිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ අදහස් දක්වමින් නැවතත් රටේ පෝලිම් යුගයක් ඇතිව ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් මේ අවස්ථාවේ ජනතාව පමණක් නොව පාලකයින් හා රාජ්‍ය නිලධාරීන්ද කැපවීම් කළ යුතුව තිබෙන බවත් පැවසූවා.

පවතින මුල්‍ය අර්බුදය තේරුම් ගෙන මැති ඇමැතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද  වියදම් අඩු කිරීමට උනන්දු විය යුතුව ඇතැයිද උන්වහන්සේ කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2022 16:56