April 27, 2024

බලධාරීන් නිහඩයි - ජනතාව ජීවිතයත් මරණයත් අතර සටනක

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තල්ගහපතන, කිරිමඩුතැන්න, ගල්බොක්ක සහ පැල්ගහතැන්න ආදී ගම්මාන වෙත බ්ලානි වත්ත ගම්මානය හරහා පිවිසීමට ඇති මාර්ගයේ එක් ස්ථානයක කොන්ක්‍රීට් තට්ටුවක් ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ජනතාව පවසනවා.

මීට මාස හයකට පමණ ඉහතදී පැවති දැඩි වර්ෂාවත් සමගිනුයි මෙම ගිලා බැසීම සිදුව තිබෙන්නේ.

මාර්ගය හරහා විශාල ජල පහරක් ගලා යන අතර එම ස්ථානයෙන් මෙම ගිලා බැසීම සිදුව තිබෙනවා.

එම ස්ථානයෙන් නිසි පරිදි බෝක්කුවක් නොදා මාර්ගය සකසා ඇති අතර එම නිසා ගලා යන ජල පහරට මාර්ගය සෝදා යාමෙන් මෙසේ කොන්ක්‍රීට් කර ඇති මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා.

කිහිප අවස්ථාවකදී බළධාරීන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කලද ඒ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

මේ හේතුවෙන් මෙම මාර්ගයෙන් එහා මෙහා යන ජනතාවට තම දෛනික කටයුතු කරගත නොහැකි තත්වයකට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙන අතර ගම්මුන් විසින් තාවකාලික ලෑලි කිහිපයක් යොදා මාර්ගය සකසා ඇති නමුත් ඒ මතින් ගමන් කිරීම ද දැඩි අවධානමක් බව ගම්මුන් පවසනවා.

පවුල් දෙසීය පනහකට පමණ පිරිසකට සෘජුව බලපා ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා මාර්ගය නිසි පරිදි සකසා දෙන ලෙසට ජනතාව අදාල බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 11:06