March 29, 2024

රාජ්‍ය වෙසක් උත්සවයට කූරගල සුදානම්

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල පුද බිමේදි පැවැත්වීමට රජය ගත් තීරණය අනුව වෙසක් දින සිට දින 07ක් පුරා බැති ගී, වෙසක් තොරණ් ඇතුළු සංස්කෘතික අංග ද දන්සල් ද කූරගල ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී බුද්ධ වර්ෂ 2566 රාජ්‍ය වෙසක් උත්සවය පිළිබදව සාකච්ඡාවේදී මේ බව තීරණය වී තිබෙනවා.

මෙම වෙසක් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගිය 12 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මීට පෙර තීරණය වී ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවා.

ඓතිහාසික කූරගල රජමහා විහාරය යළි ගොඩනැංවීම සඳහා කටයුතු ආරම්භ කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

අක්කර 150ක් පුරා ඇති කූරගල පූජා භූමිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ රජයේ සෙසු දෙපාර්තමේන්තුවල අධීක්ෂණය හා මඟ පෙන්වීම මත යළි ගොඩනැගෙන බව කුරගල ඉදිකිරීම් මෙහයවන වතුරකුඹුරේ ධම්මරතන හිමියන් මෙහිදී පැවසුවා.

ඒ අනුව බෝධිමළුව, චෛත්‍ය රාජයාණන් වහන්සේ, බුද්ධ ප්‍රතිමා වහන්සේ, සංඝාවාස, ධාතු මන්දිරය ඇතුළු බෞද්ධ පුණ්‍යභූමි සතු ස්ථාන මේ යටතේ සංවර්ධනය කෙරෙනවා.

ඒ සදහා රජය, සබරගමුව පළාත් සභාව, ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වය හිමි වී ඇතැයි උන්වහන්සේ පැවසුවා.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී ව කිලෝමීටර් 32කින් සමන්විත බලංගොඩ කල්තොට වේලිඔය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම, රජවක රක්ෂිතයේ පාළු වූ අක්කර 67ක රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඇතුළු බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් මීට සමගාමීව  ක්‍රියාත්මක කරන බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසුවා.

රාජ්‍ය වෙසක් උත්සව දිනයේ දී කූරගල හා අවට ඓතිහාසික සිද්ධස්ථාන කිහිපයක් මුල්කරගෙන මුද්දර නිකුත් කිරීමට ද රජය කටයුතු කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ කූරගල විහාරවාසී අතිපූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන් පැවසුවේ, මුඩු බිමක් සහ වේදනාවෙන් පීඩිත වූ භූමියක් වසරක් වැනි කෙටි කාලයක් තුළ දහම් සිසිල පිරී ගිය පුදබිමක් කිරීම සඳහා දායක වූ සැමට පුන්‍යානුමෝදනා කරන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, කූරගල පුදබිම ආලෝකමත් කිරීමට අවශ්‍ය පියවර ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව කටයුතු කරන බවයි.
                                                                                                                         

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2022 13:17