May 07, 2024

"උන් සැප විදිනවා - අපි දුක් විඳිනවා" - සෞඛ්‍ය වර්ජනයෙන් ජනතාව පීඩාවට

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති අද ආරම්භ කළ දෙදින වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක සේවාවන් සහ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුනා.

පරිපුරක, අතුරු වෛද්‍ය ශ්‍රේණිවලට අයත් වෘත්තිකයින් මෙලෙස වර්ජනයේ නිරත වන අතර අධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය හේතුවෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ඊට සහභාගි වී නැහැ.

පසුගිය 07 වනදා සිට දින 09ක් අඛණ්ඩ වර්ජනයක නිරත වු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සිය වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටවනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව මතයි.

කෙසේ වෙතත්, සති දෙකක කාලයක් සෞඛ්‍ය බලධාරීන්ට ලබාදුන්නද සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනිය විසදුම් නොලැබීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අද පෙරවරු 08 සිට දෙදින වර්ජනය සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කරනු ලැබුවා.

මේ හේතුවෙන් රෝහල් වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුනා.

කෙසේ වෙතත්, පිළිකා රෝහල, ළමා රෝහල්, මාතෘ රෝහල්, මධ්‍යම ලේ බැංකුව ඇතුළු රෝහල් 09ක වර්ජනය සිදුනොකරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සදහන් කළේ.

වර්ජනයට එක්ව සිටින වෘත්තිය සමිති නියෝජිතයන් පිරිසක් ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

වර්ජනය හේතුවෙන් අසරණ වූ ජනතාව සිය අදහස් මෙසේ දක්වා සිටියා,

"මොනවා කරන්නද ඉතින් අදට විතරක් ෆාමසියෙන් අරන් යනවා. ආයේ හෙට එනවා."

"වෛද්‍යවරු වැඩ කරනවා. අර ගොල්ලන්ගේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ."

"බෙහෙත් ටිකවත් ගන්න සල්ලි නැහැ. අපිට සල්ලි තියෙනවා නම් මෙතනට එන්නේ නැහැනේ. කොච්චර මිනිස්සු අසරණ වෙලාද ඉන්නේ? අපිට කන්නවත් සල්ලි නැහැ. දෙයියෝ තමයි දන්නේ. හෙණ ගහනවා මේවට නම්. අපිට ඇස් වලින් කඳුළු එනවා. දුක කාට කියන්නද? උන් සැප විදිනවා. අපි දුක් විඳිනවා." 

"ගිය සතියේ ආවා ඒත් නැහැ. අදත් ආවා ඒත් නැහැ. හැමදාම නැහැ තමයි."

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,

"අපි උත්සාහ කරන්නේ මේක සාකච්ජා මාර්ගයෙන් විසඳා ගන්න. නමුත් අපිට පේන දෙයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ආ දවස් දෙකයිනේ, මේ ගොල්ලෝ දවස් දෙකකින් වැඩට එනවනේ කියලා ඒ නිසා අපි අපේ පාඩුවේ ඉමු කියන ප්‍රතිපත්තියේ ඉන්නේ. ඒකේ ප්‍රතිඵලය ඉතාම නරකයි. ඒ නිසා අපිට දවස් 10ක් ඇතුළත ආයේ අඛණ්ඩ වර්ජනයකට යන්න වෙනවා."

අධිකරණයෙන් පනවා ඇති වාරණ නියෝගයක් මත හෙද නිලධාරීන් අදාළ වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගී වන්නේ නැහැ.

කෙසේවෙතත් ජනතාව පිඩාවට පත්ව ඇති මොහොතක සිය සංගමය වර්ජන ක්‍රියාමාර්ගයකට එක් නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. 

Rate this item
(0 votes)