May 07, 2024

උණුසුම් තත්වයක් - ඩීසල් බෙදන්න පොලීසියත් එයි

රට තුළ පවතින ඉන්ධන අර්බුදය මේ වන විට පොදු ප්‍රවාහන සේවාවලට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

බස් රථ ධාවනය ද සීමා කර ඇති පසුබිමක දුම්රිය එන්ජින් රියදුරුවරුන් පවසන්නේ, දුම්රිය ධාවනය සඳහා පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බවයි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට පිරවුම්හල් අසල ඉතා දිගු පෝලිම් පවතින ආකාරයත් දැකගත හැකිවුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

තවමත් බොහෝ පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම පවතින ආකාරය ද දක්නට ලැබුණා.

සංචාරකයින් ප්‍රවාහනය කරන රියදුරන් පිරිසක් දිගු වේලාවක් ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට සිදු වූ නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී සිය රථ වාහන පෝලීමේ නවතා රැය පහන් කර තිබූ ආකාරය ද වාර්තා වුණා.

දඹුල්ල නගරයේ ඉන්ධන ලබා දෙන එක පුද්ගලික පිරවුම් හලක ගොවීන් වෙනුවෙන් ඉන්ධන නිකුත් කිරීම සඳහා වෙනමම ඉන්ධන පොම්පයක් වෙන් කර තිබීම විශේෂත්වයක් වුණා.

ඉන්ධන පිරවුම් හලේ අයිතිකරු තම ඉන්ධන පිරවුම් හලේ ඇති ඩීසල් නිකුත් කරන ලද පොම්ප තුනකින් එක් පොම්පයක්  වාහන සඳහා වෙන් කොට තිබුණු අතර තවත් පොම්පයක් කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ගොවීන්ට නිකුත් කිරීමටත් තවත් වාණිජමය කටයුතු සඳහා බැරල් වලට නිකුත් කිරීම් සඳහා වෙන් කර තිබුණා.

එම ස්ථානයේ ද ඉන්ධන ගැණුම්කරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයන් ඇතිවූයේ පෝලිම් පැන ඇතැම් අය ඉන්ධන ලබා ගැනීම් සඳහා පෝලිම් කඩාගෙන පැමිණීම නිසාවෙන්.

කෙසේ වෙතත් දඹුල්ල ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගැනීමට හැකි වූ බව දඹුල්ල ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එළවළු රැගෙන එමින් තිබූ වාහන රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අතරමං වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ ප්‍රජාව පෙන්වා දෙනවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ වැඩි වශයෙන් ගොවීන් සහ කොළ මඩින යන්ත්‍ර හිමිකරුවන් සීසීකඩ ඇවිද යන ආකාරය දැක ගැනීමට හැකි වුණා.

එමෙන්ම හලාවත නගරයේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සදහා හලාවත පොලීසියටද මැදිහත් වීමට සිදු වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පිරිස කියා සිටියේ පිරවුම්හල තුළ ඉන්ධන තබා ගෙන නිකුත් කිරීමක් නොකරන බවයි.

නමුත් ඉන්ධන පිරවුම්හලේ සේවකයින් සහ පාලනාධිකාරිය කියා සිටියේ ලැබී ඇති ඉන්ධන තොගය අවසන් වී ඇති බවයි.

පසුව පොලීසිය මැදිහත්වී සුළු ඉන්ධන ප්‍රමාණයක් පැමිණ තිබූ වාහන වලට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

හලාවත නගරය තුළ පවත්වා ගෙන යන සෙසු ඉන්ධන හල් දෙකෙහිම ඉන්ධන තොග අවසන් වී තිබුණා.

මේ අතර ඩීසල් අවසන්ව පැවති තංගල්ල මහවෙල ප්‍රදේශයේ පිරවුම්හලකට ඉන්ධන ලැබීමත් සමඟ ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීතියට පත්වුණා.

පවතින ඉන්ධන හිඟය වැඩි වශයෙන් බලපෑමක් එල්ල කර ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවලටයි.

ඉන්ධන අර්බුදයත් සමඟ දුම්රිය ධාවනයටත් බලපෑමක් එල්ල වී ඇති අතර දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමය සඳහන් කළේ, පවතින තත්ත්වය මත දුම්රිය ධාවනය සීමා කරන ලෙස එම දෙපාර්තමේන්තුවට යෝජනාවක් ද සිදුකළ බවයි.

මේ අතර ඩීසල් හිඟය බස් රථ ධාවනයට තවදුරටත් බලපෑම් එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ලංගම මඟින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 15:07