May 04, 2024

දෙමාපියන් මේ ගැන දන්නවාද? උපකාරක පංති වල වැසිකිලි ගැන හෙළිදරව්වක් (PHOTOS)

February 24, 2022

පෞද්ගලික උපකාරක පන්ති වල සිසු සිසුවියන්ට පාවිච්චි කිරීම සඳහා ඇති වැසිකිළිවල තත්වය පිළිබඳ සොයා බැලීමක් ඒෂියන් මිරර් අප සිදුකළා.

දඹුල්ල හා තදාසන්න ප්‍රදේශවල පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පන්ති වල වැසිකිළි සහ කැසිකිළි ඉතාම අබලන් තත්වයේ පවතින බවයි දෙමාපියන් පවසන්නේ.

දඹුල්ල, ගලේවෙල, නාවුල, සීගිරිය, ආදී ප්‍රදේශවල බහුතර උපකාරක පන්ති රජයේ පාසල් ගුරුවරුන් තවත් කණ්ඩායම් විසින් ආයතන හැටියට පවත්වාගෙන යන බවත් එහෙත් ඒවායේ පවතින වැසිකිළි සහ කැසිකිළි අබලන් වීම අපිරිසිදු වීම සහ ජල පහසුකම් නොමැති වීම නිසා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වී තිබෙන බවත් දෙමාපියන් පෙන්වා දෙනවා.

දරුවන් මානසික පීඩනයක

මෙම අඩුපාඩු පෙන්වාදීමට ගියහොත් තම දුවා දරුවන්ගේ අධ්‍යාපනයට සහ පෞද්ගලිකත්වයට හානිදායක තත්ත්වයක් පවතින නිසා ඒවා විඳ දරා ගැනීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන දෙමව්පියන් පැය ගණනාවක් උපකාරක පන්ති වල කුඩා බංකු කැබලි මත වාඩි වී සිටින තම දුවා දරුවන්ට ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට නොහැකිව ඔවුන් අධ්‍යාපනයෙන් පමණක් නොව මානසිකව ශාරීරිකව පීඩනයට පත්ව සිටින බවද කියාසිටියා.

දෙමාපියන් නගන මෙම චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා ඒෂියන් මිරර් වාර්තාකරු දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික උපකාරක පන්ති කිහිපයකට ගොස් සොයා බැලුවා.

එහිදී දැක ගැනීමට හැකි වූයේ ඉතාම අබලන් තත්ත්වයේ සහ දැඩි අපිරිසිදුව පවතින වැසිකිළි වන අතර කැසිකිළි එකම ස්ථානයක හෝ දැකගැනීමට නොහැකි විය.

එක වැසිකිලියක්

දිනකට දඹුල්ල නගරයට පමණක් දරු දැරියෝ පන්දහසකට අධික පිරිසක් පැමිණෙනවා.

කාන්තා සහ පිරිමි එක වැසිකිලියක් සිසු සිසුවියන්ට ලබා දෙන අරුම පුදුම උපකාරක පන්තියක් ද අපට හමු විය.

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පවත්වාගෙන යන සිසු සිසුවියන් විශාල පිරිසක් සහ සහභාගි වන උපකාරක පන්ති කිහිපයකම ඉදිරිපස ඉතා අලංකාර පැවතුනද දරුවන් සඳහා ඇති වැසිකිළි සහ කැසිකිළි දැඩි අපිරිසිදු තත්ත්වයේ පවතින ආකාරයත් අඩුම තරමේ ඇතැම් වැසිකිලිවලට ජලය පවා නොමැති අයුරුත් දැක ගැනීමට හැකිවුණා.

මෙම තත්ත්වයන් පිළිබඳව මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති ආයතන ලෙස පවත්වාගෙන යන පිරිස්ගෙන් විමසීමේදී කියා සිටියේ ඇතැම් උපකාරක පන්ති දෙකක් එකට පවත්වාගෙන යන නිසා ආයතන දෙකක දරුවන් පැමිණීමේදී අනෙක් ආයතනය පිරිසිදු නොකිරීම නිසා මේ තත්ත්වය උදා වන බව යි.

වැසිකිලිවලටත් දරුවන්ගේ අය කරන්න යයි

උපකාරක පන්ති පවත්වාගෙන යන හිමිකරුවන් කියා සිටියේ සෞඛ්‍ය සඳහා ද වැඩි මුදලටක් වියදම් කිරීම් සිදු වුවහොත් දරුවන්ගෙන් එම මුදල් අය කිරීමට සිදු වන බවයි.

තවත් පිරිසක් කියා සිටියේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වාගෙන යන කුලී ගොඩනැගිලිවල හිමිකරුවන් ඒ පිළිබඳව අවධානයක් යොමු නොකරනන බවයි.

තවත් ස්ථාන කිහිපයකම දැක ගැනීමට හැකි වූයේ කාන්තා වැසිකිලි සහ පිරිමි වැසිකිලි තවත් අයකුට ඇතුළත පිට සිට දර්ශනය වන ආකාරයට නිර්මාණය කර තිබීම යි.

ගුරුවරු වගකීම නොගනී

උපකාරක පන්ති පවත්වාගෙන යන තවත් අයකු පැවසූවේ නගරයේ මිට වඩා අපිරිසිදු ස්ථාන පවතින බැවින් ඒවා සොයා බලන ලෙසත්, තමන් නගරාධිපතිවරයා හොදින් හදුනන බවත්ය.

එහි දී උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් විමසීමේ දී කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව වගකීමක් ගැනීම්ට නොහැකි බවයි.

පෞද්ගලික පන්ති සහ ආයතන ලෙස පවත්වාගෙන යන ස්ථාන වල හිමිකරුවන් එහි වගකීම් ගත යුතු බවත් ගුරුවරුන් බහුතරයක් එම ආයතනවල ඉල්ලීම් පරිදි මුදලට ඉගැන්වීම් සඳහා පමණක් එම ආයතනයට පැමිණෙන බවත් උපකාරක පන්ති ගුරුවරුන් පැවසුවා. 

තවත් උපකාර පන්ති කිහිපයක්ක වැසිකිළි කැසිකිළි පහසුකම් යම් මට්ටමකින් හෝ පවත්වාගෙන යන ස්ථාන අපට හමුවිය.

කෙසේ වෙතත් දරුවන්ගේ නැණ නුවණ පැහැදීම සඳහාත් මුදලට ඉගැන්වීම් සිදු කරන විශාල දරු දැරියන් පිරිසක් සහභාගී වන මෙම පෞද්ගලික උපකාරක පන්ති සහ ආයතන පවත්වාගෙන යන පිරිස මීට වඩා දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ශරීර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව දෙමාපියන් අවධාරණය කරන්නේ.

මෙම උපකාරක පන්ති යම් නියාමනයකට ලක්කොට අඩුම තරමේ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවේ සෞඛ්‍ය අංශ අවධානය යොමු කළ යුතු බවද දෙමව්පියන් වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

Rate this item
(1 Vote)