May 10, 2024

යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

February 10, 2022

යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය තම ඒකාබද්ධ කොමිෂන් සභාවේ 24 වැනි රැස්වීම 2022 පෙරේදා (08) බ්‍රසල්ස් හිදී පැවැත්වුවා.

එහිදී ද්විපාර්ශ්වික වශයෙන් උනන්දුවක් දක්වන පාලනය, සංහිඳියාව සහ මානව හිමිකම්වල සිට, වෙළඳ කටයුතු, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගීතාව, ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි වීම සහ බහුපාර්ශ්වික වේදිකාවල දී සහයෝගීතාවය දක්වා විහිද යන පුළුල් පරාසයක මාතෘකා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ බව ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එහිදී යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකාව එකඟතා රැසක් පිලිබඳ අවධානය යොමු කළ අතර එහිදී යුක්තිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රතිසංධානය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එකඟ වන බවද අවධාරණය කර තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය තම ඒකාබද්ධ කොමිෂන් සභාවේ 24 වැනි රැස්වීම 2022 පෙබරවාරි 8 වැනි දින බ්‍රසල්ස් හිදී පැවැත්වීය. මිත්‍රශීලී සහ විවෘත වාතාවරණයක් තුළ පැවති මෙම හමුවේ දී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සමාලෝචනය කරන ලද අතර, ද්විපාර්ශ්වික වශයෙන් උනන්දුවක් දක්වන පාලනය, සංහිඳියාව සහ මානව හිමිකම්වල සිට, වෙළඳ කටයුතු, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගීතාව, ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි වීම සහ බහුපාර්ශ්වික වේදිකාවල දී සහයෝගීතාවය දක්වා විහිද යන පුළුල් පරාසයක මාතෘකා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සහ යාවත්කාලීන කිරීම් සිදු විය.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ ඵලදායී එන්නත් ක්‍රමෝපාය පිළිබඳව යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සුබ පැතීය. වසංගතය විසින් උග්‍ර කරන ලද අනතුරුදායක තත්ත්වයන් සහ අසමානතා පිළිබඳව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරමින්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට සාධාරණ හා සාධාරණ ලෙස කොවිඩ්-19 එන්නත ප්‍රවේශ කිරීමට සඳහා වන තම කැපවීම පිළිබඳව යුරෝපා සංගමය අවධාරණය කළේය. ගෝලීය එන්නත් සාධාරණත්වය සඳහා යුරෝපා සංගමය ලබා දෙන අඛණ්ඩ දායකත්වය ශ්‍රී ලංකාව අගය කළේය.

මෙම රැස්වීම යුරෝපා සංගමයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රවණතා, අදාළ ක්‍රියාමාර්ග සහ ව්‍යවස්ථාදායක මුලපිරීම් පිළිබඳ යාවත්කාලීන කිරීම් සඳහා අවස්ථාවක් ලබා දුන්නේය. ප්‍රජාතන්ත්‍රවාදය, පාලනය, නීතියේ ආධිපත්‍යය, සුළු ජාතීන්, කාන්තාවන්, ළමා හා කම්කරු අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ හා ඇසුරු කිරීමේ නිදහස පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

විශේෂයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR), ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ඇතුළුව, සංහිඳියාව සහ ස්වාධීන ආයතනවල ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් දැනුවත් කරන ලදී. මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගීතාවය සහ සම්බන්ධ වීම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දැඩි ලෙස දිරිමත් කළේය. මෙම සන්දර්භය තුළ, යුරෝපා සංගමය ස්වාධීන ආයතනවල ස්වාධීනත්වයේ සහ ඵලදායී ක්‍රියාකාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. සිවිල් සමාජය සවිබල ගැන්වීමේ වැදගත්කම සහ එහි සියලු විවිධත්වය තුළ ක්‍රියා කිරීමට අවශ්‍ය අවකාශය ලබා දීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය. යුක්තිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රතිසන්ධානය සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අඛණ්ඩව කැපවන බව යුරෝපා සංගමය යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සිය කැපවීම් සපුරාලීමේ දී, භූමියේ දී මැනිය හැකි, ස්පෘෂ්‍ය සහ සත්‍යාපනය කළ හැකි ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා වූ තම අරමුණ යළි අවධාරණය කළේය. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම යුරෝපා සංගමයේ පිළිගැනීමට ලක්විය. කෙසේ වෙතත්, ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට වැදගත් අංගයන් ඇතුළත් කර නොමැති බව යුරෝපා සංගමය සඳහන් කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පූර්ණ ලෙස අනුකූල කිරීම සඳහා තවදුරටත් පියවර ගැනීම පිණිස, ශ්‍රී ලංකාව යුරෝපා සංගමය ප්‍රකාශ කළ අදහස් සැලකිල්ලට ගත්තේය. තාවකාලිකව, පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද නියෝග ආකාරයෙන් ගෙන ඇති පරිපාලනමය පියවරයන් සැලකිල්ලට ගනිමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය අඛණ්ඩව අඩු කරන ලෙස සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නොමැතිව රඳවාගෙන සිටින අය ඇප මත මුදා හැරීම සඳහා වැඩිදුර ප්‍රායෝගික හා පරිපාලනමය පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

2022 ජනවාරි 26 වැනි දින අතථ්‍ය ලෙස පැවති වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම එළඹුණු නිගමන පිළිබඳව ඒකාබද්ධ කොමිෂන් සභාව සලකා බැලීය. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික වෙළඳ සබඳතාවල වැදගත්කම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන්, බොහෝ යුරෝපීය නිෂ්පාදන තම වෙළඳපොළට ඇතුළුවීම වළක්වන ආනයන සීමා කිරීම් වහාම ඉවත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය. ගෝලීය වසංගතයේ බලපෑම හේතුවෙන් ඇති වූ විදේශ විනිමය හිඟය නිසා, දැඩි ලෙස තාවකාලික පියවරක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තාවකාලික ආනයන සීමා පනවා ඇති බව ශ්‍රී ලංකාව පැහැදිලි කළේය. මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩ හා ප්‍රගතිශීලී සමාලෝචනයකට යටත් වන බව ද ශ්‍රී ලංකාව සඳහන් කළේය. රටේ තිරසාර සංවර්ධනය සඳහා GSP+ පාලනය මඟින් ලබා දෙන වටිනා දායකත්වය ශ්‍රී ලංකාව අගය කළේය. 2021 සැප්තැම්බර් මස පැවති GSP+ අධීක්ෂණ මෙහෙයුමේ දී ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන්ගේ ඵලදායී මැදිහත්වීම යුරෝපා සංගමයේ පිළිගැනීමට ලක්විය. GSP+ යෝජනා ක්‍රමය මගින් ආවරණය වන මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සුරැකීම සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27 සඳහා ශ්‍රී ලංකාව අනුකූල වීම දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී. මෙම සම්මුතීන් 27 ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යළි අවධාරණය කළ අතර, වෙනස්කම් නොකිරීමේ මූලධර්මය පිළිපැදීම සහ කම්කරු අයිතිවාසිකම් සහ මූලික නිදහස ක්‍රියාත්මක කිරීමේ දී තවදුරටත් පවතින බාධාවන් ඉවත් කිරීම පිළිබඳව සටහන් කළේය. එහි ප්‍රගතිය පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් ලබා දෙන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

2022 පෙබරවාරි 2 වැනි දින පැවති සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ නිගමන පිළිබඳව ද ඒකාබද්ධ කොමිෂන් සභාව සාකච්ඡා කළේය. ක්‍රියාකාරී කණ්ඩායම විසින් යුරෝපා සංගම් - ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවයේ සියලුම අංග සමාලෝචනය කළ අතර, 2021-2027 සඳහා යුරෝපා සංගමයේ බහු-වාර්ෂික දර්ශක වැඩසටහනේ (MIP) ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කරන ලදී. කොවිඩ්-19 ප්‍රතිචාර පැකේජය ඇතුළුව, 2021 දී අනුගමනය කරන ලද මැදිහත්වීම් පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.  හරිත ප්‍රතිසාධනය සහ සියල්ල ඇතුළත් සාමකාමී සමාජය කෙරෙහි අවධානය යොමු කරන බහු-වාර්ෂික දර්ශක වැඩසටහන, ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා සහය දක්වන බව සහ යුරෝපීය හරිත ගිවිසුමේ බාහිර මානයන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාවය සඳහා වන යුරෝපා සංගම් උපායමාර්ග සමඟ සමපාත වන බව යුරෝපා සංගමය සඳහන් කළේය. යුරෝපා සංගමයේ සංවර්ධන සහයෝගීතාවය අගය කරමින්, එය ශ්‍රී ලංකාවේ ජාතික සහ සංවර්ධන ප්‍රමුඛතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන බව ශ්‍රී ලංකාව යළි අවධාරණය කළේය. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව බහු-වාර්ෂික දර්ශක වැඩසටහනේ යටතේ ඒකාබද්ධ ප්‍රමුඛතා මත එක්ව කටයුතු කිරීම සඳහා සිය කැපවීම ප්‍රකාශ කළහ.

නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම වැළැක්වීම සහ තුරන් කිරීම සහ හවුල්කාරිත්වයේ කැපවීම්වලට ගරු කිරීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය.

සංක්‍රමණය සහ නැවත ඇතුළත් කර ගැනීම සම්බන්ධ ගැටළු ද සාකච්ඡා කෙරිණි.

‘ඉරාස්මස්+’ වැඩසටහන, ‘මාරී-ස්ක්ලොඩොවුස්කා-කියුරී’ වැඩසටහන සහ ‘හොරයිසන් යුරෝප් ෆ්‍රේම්වර්ක්’ වැඩසටහන යටතේ උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ සහ තාක්ෂණික සහයෝගීතාවයේ සහයෝගීතාව ගැඹුරු කිරීමේ මාර්ග පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර අදහස් හුවමාරු විය.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) යටතේ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කිරීම සහ අපේක්ෂා සහගත ඉලක්ක සඳහා රටේ කැපවීම යුරෝපා සංගමය පිළිගත්තේය. දේශගුණික ක්‍රියාකාරකම් සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වේදිකාවල දී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය අපේක්ෂා කරයි. 27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP27) පෙරාතුව පවතින ප්‍රමුඛතා පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.

ආරක්‍ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍ෂේත්‍රයේ පවතින සහයෝගිතාව පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව සමාලෝචනය කළහ. දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුරෝපා සංගමය විසින් අඛණ්ඩව ලැයිස්තුගත කිරීම ශ්‍රී ලංකාව අගය කළේය. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ජාත්‍යන්තර ප්‍රතිමාන හා ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. සමුද්‍රීය වසම් දැනුවත්භාවය පිළිබඳ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඔවුහු කැමැත්ත පළ කළහ.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව නීති රීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙලක් සහ ඵලදායී බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සිය කැපවීම අවධාරණය කළහ. ඉන්දියන් සාගරයේ කලාපීය ප්‍රවණතා සහ සහයෝගීතාව පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. 2021 දෙසැම්බර් 1 දින දියත් කරන ලද, ලොව පුරා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයෝජන සඳහා වන නව යුරෝපා සංගම් සැලැස්ම වන “ගෝලීය දොරටුව” (Global Gateway) යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලදී. මෙම මුලපිරීම ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලැබීය.

මීළඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 2023 වසරේ කොළඹ දී කැඳවීමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය. ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ මීළඟ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමට නියමිත කාලසීමාව පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියා සහ ශාන්තිකර කලාපීය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පැවෝලා පැම්පලෝනි මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා විසින් මෙම රැස්වීමේ සම මුලසුන දරන ලදී.

හවුල්කාරිත්වය සහ සංවර්ධනය පිළිබඳ 1995 යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගිතා ගිවිසුම අධීක්ෂණය කරන ඒකාබද්ධ කොමිෂන් සභාව, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන පුළුල් පරාසයක ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගැටළු සමඟ කටයුතු කරයි. ගිවිසුම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, ප්‍රමුඛතා සැකසීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම එහි කර්තව්‍ය වේ.

ඒකාබද්ධ කොමිෂන් සභාවේ නියමයන් යටතේ, 2021 සැප්තැම්බර් මාසයේ දී පිහිටුවන ලද, පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම; 2022 ජනවාරි මාසයේ දී පිහිටුවන ලද වෙළඳ සහ ආර්ථික සහයෝගිතා ගැටළු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම; සහ 2022 පෙබරවාරි මාසයේ දී පිහිටුවන ලද සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම යන ක්‍රියාකාරී කණ්ඩායම් තුනම ඔවුන්ගේ අදාළ රැස්වීම්වල වාර්තා ඉදිරිපත් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 February 2022 16:16