May 15, 2024

ගම්මන්පිල ආණ්ඩුවේ 4ට කට වැහෙන්නම දෙයි

February 08, 2022

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩු පාර්ශවයෙන්ම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව එල්ල කළ ප්‍රහාරය සාර්ථකව ඔහු මැඩ පැවැත්වූ බව වාර්තා වනවා.

එම රැස්වීම පවත්වා තිබෙන්නේ ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) අරලිය ගහ මන්දිරයේදී.

නම හෙළි නොකිරීම

එහිදී ඇති වූ සිද්ධිය එම රැස්වීමට සහභාගි වූ ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරයෙක් සිය නම හෙළි නොකිරීමේ එකගතාවය මත ඒෂියන් මිරර් වෙත මෙසේ විස්තර කළා.

රැස්වීම ආරම්භයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ප්‍රථමයෙන්ම ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව මතයක් ගොඩනැගීම ආරම්භ කොට තිබෙනවා.

ඔහු සඳහන් කර තිබෙන්නේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වූයේ කොවිඩ් නිසා බවට ජනපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රති විරුද්ධ මතයක් ගම්මන්පිල අමාත්‍යවරයා සමාජ ගත කරමින් සිටින බවයි.

මහජන විශ්වාසනීයත්වය

වත්මන් ආර්ථික අර්බුදය ඇති වූයේ කොවිඩ් නිසා නොවන බවට ඇමැතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම මත ජනපතිවරයාගේ ප්‍රකාශය පිළිබද මහජන විශ්වාසනීයත්වය බිඳ වැටෙන බවත් කැටගොඩ මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

කැටගොඩ මන්ත්‍රීවරයාට පසුව අදහස් දක්වා තිබෙන්නේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයායි.

ඔහු සඳහන් කර තිබෙන්නේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ ප්‍රකාශ නිසා තමන්ට ගමට යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

ඇමතිගේ මැදිහත් වීම

ඊට පසු රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා සහ ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් උත්සාහ කර තිබෙන්නේ ජනපතිවරයා හා ගම්මන්පිල අමාත්‍යවරයා අතර ගැටුමක් ඇති කරලීමට.

එහෙත් ඉන් ඔවුන් දෙපළ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණේ ජනපතිවරයා හෝ අගමැතිවරයා ඊට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් නොවීම නිසා.

මේ කතා සියල්ලටම ගම්මන්පිල අමාත්‍යවරයා පිළිතුරු දී තිබෙන්නේ පරණ පිළිතුරුම ලබාදෙමින්.

වත්මන් ආර්ථික අර්බුදයට කොවිඩ් යම් බලපෑමක් වුවද ප්‍රධාන හේතුව බලයේ සිටි ආණ්ඩු දිගු කාලයක් පුරා කරගෙන ගිය ණය ගැනීම බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

හැමතැනම කියන කතාව

එතෙකින් නොනැවතුණු ඔහු තමා මෙම කාරණය කැබිනට් මණ්ඩලය තුළත්, පාර්ලිමේන්තුව තුළත්, මාධ්‍ය තුළත් ප්‍රකාශ කළ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සිහිපත් කිරීමට අමතක කර නැහැ.

ගම්මන්පිල අමාත්‍යවරයාගේ ඒ අදහස් දැක්වීම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ද ඔළුව වනමින් අනුමත කොට තිබෙනවා.

එන පොට හොඳ නැති බව තේරුම් ගත් අබේගුණවර්ධන ඇමැතිවරයා යලි මැදිහත් වි තිබෙන අතර සියලු දෙනා සහයෝගයෙන් වැඩ කරමු යැයි යෝජනාවක්ද ඉදිරිපත් කළා.

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉහත අදහස් දැක්වූ දැක්වූ සියල්ලන්ම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට වඩාත් සමීප අය ලෙසයි හැඳින්වෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 February 2022 11:16