May 21, 2024

ඇමති බැසිල් ඇරඹූ වැඩසටහනට පොහොට්ටු මන්ත්‍රිනිය කඩා පැන යකා නටයි! විරෝධය මැද වැඩ අරඹයි Featured

February 07, 2022

රජය විසින් ආරම්භ කර ඇති "අයවැයෙන් වැඩ ලක්ෂයක්" වැඩසටහන යටතේ මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

පසුගිය 03 වැනිදා මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙනවා.

හලාවත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අඹකදවිල කලපුව දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රීමික්ස් යොදා සකස් කිරීම සදහා රජය විසින් රුපියල් ලක්ෂ 12 ක මුදලක් වෙන් කර තිබෙනවා.

හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග කර ජයග්‍රහණය කර ඇති චමීර චන්දන පෙරේරා මහතා විසින් එම කටයුත්ත ආරම්භ කිරීම සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර එම ස්ථානයට කඩා වැදී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පත් කළ මන්ත්‍රීවරියක් වන මේරි ඩල්සි ප්‍රනාන්දු මහත්මිය කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එම ස්ථානයට පැමිණ ඇති මන්ත්‍රීවරියගේ සැමියාද කලබලයට හවුල් වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව බලහත්කාරයෙන් වැඩ කටයුතු ආරම්භ කළ මන්ත්‍රීවරිය තම සැමියා සමග එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ ගම්වාසීන්ගේ දැඩි විරෝධය හමුවේයි.

තමන් මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු බවත්, රජයෙන් වෙන් කර ඇති මුදල් වැය කරමින් සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදානම් වන අවස්ථාවේ පත් කළ මන්ත්‍රීවරියක් මේ ආකාරයට බාධා කිරීම කනගාටුදායක තත්ත්වයක් බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමීර චන්දන පෙරේරා මහතා පැවසුවා.

ඒෂියන් මිරර් අප මේ සම්බන්ධයෙන් හලාවත ප්‍රාදේශීය සභාවේ පත් කළ මන්ත්‍රීණී මේරි ඩල්සි ප්‍රනාන්දු මහත්මියගෙන් විමසීමක් කළා.

එහිදී ඇය කියා සිටියේ සිදුවූයේ සුළු සිදුවීමක් පමණක් බවයි.

Rate this item
(1 Vote)