May 20, 2024

යළි පොල්තෙල් අවුලක්! කැබිනට් ඇමැතිවරුන්ටත් හොරා නොපෙනෙන හස්තයක්

February 07, 2022

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය විසින් යළිත් පොල් තෙල් අවුලක් රට හමුවේ හෙළි කර තිබෙනවා.  

විදේශ රට වලින් ඉවත් කරන ලද පොල් තෙල් මෙරටට ගෙනවිත් පිරිපහදු කොට අලෙවි කිරීමේ ජාවාරමට බදු සහන ලබා දීමේ උත්සාහයක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එනිසා ජනතාව රෝගීන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදුකල හොත් ඉදිරියේදී සමස්ත දේශීය පොල් කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් සමඟ රට පුරා දැවැන්ත විරෝධතා සංවිධානය කරන බවට ඔවුන් අනතුරු අඟවනවා.

පිළිකා කාරක පොල්තෙල් යළිත් 

පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පසුගියදා දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේබව අනාවරණය කළා.

එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළේ පසුගිය කාලයේ පිළිකා කාරක සහිත පොල් තෙල් ගෙන එන බව තම සංගමය හෙළිදරව් කළ බවයි.

එම හෙළිදරව් වලින් අනතුරුව විදේශ රටවලින් ගෙන්වා තිබූ පොල් තෙල් තොග මේ වන විට නැවත වෙළඳපොලේ අලෙවි කරන බවයි ඔහු චෝදනා කරන්නේ.

කූඨ අරමුණක්

එසේ අලෙවි නොකරන්නේ නම් එම පොල් තෙල් තොග තිබෙන ස්ථාන පෙන්වන්නැයි බුද්ධික ද සිල්වා මහතා අභියෝග කළා.

එමෙන්ම පොල් සංවර්ධන මණ්ඩලයේ ඉහළ නිලධළධාරීන් මෙන්ම පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ඉතා සූක්ෂම ලෙස දැන්ට වරායේ ගොඩගසා ඇති විදේශ රටවලින් ගෙන්වා තිබෙන පොල් තෙල් සඳහා මෙරට බදු සහන ලබා ගැනීමේ කූඨ අරමුණක නිරතව සිටින බව ද හෙතෙම චෝදනා කළා.

දීවයිනේ පොල්තෙල් අවශ්‍යතාවය සියයට සීයක් ඉතා පිරිසිදු භාවයෙන් යුතුව ලබාදීමට දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට හැකියාව තිබෙන අවස්ථාවක විදේශ රට වලින් ආහාර පිස ඉවත් කරන ලද තෙල් මෙරටට ගෙන්වා පිරිපහදු කොට නැවත රටේ ජනතාවට අලෙවි කිරීම් සිදු නොකළ යුතු බව ද ඔහු පෙන්වා දෙන්නේ.

නොපෙනෙන හස්තයක්

එම සංවිධානයේ සම කැඳවුම්කරු අලහකෝන් මහතා කියා සිටියේ මෙරට පොල් තෙල් නිශ්පාදනය සාර්ථක කළහොත් සත්ව ආහාර සඳහා විදේශ රටවලට යන ඩොලර් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව පවතින බවයි.

එසේ නොකොට දේශීය කර්මාන්ත වීනාශ කිරීමේ කූට උපායක නොපෙනෙන හස්තයක් ක්‍රියාත්මක වන බවත් එම හස්තයන් කැබිනට් ඇමැතිවරුන්ට පවා සොයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවද රාජ්‍ය නිලධාරීන් මෙහි ප්‍රමුඛස්ථානය ගෙන ඇතැයි ඔහු චෝදනා කළා.

එමෙන්ම එම සංවිධානයේ තුෂාර විජේසිංහ මහතා කියා සිටියේ පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පොල් සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් කොට කලිසමක් ඇඳගෙන තම වතු වල පොල් කැඩීම සඳහා පැමිණෙන්නැයි ආරාධනා කළා.

එසේ නොකොට විදේශ රටවල සහ විදේශීය රට වෙනුවෙන් පෙනී සිටින්නේ කුමක් නිසා දැයි ඔවුන් ප්‍රශ්න කරයි.

 

දඹුල්ල - කාංචන කුමාර

Rate this item
(1 Vote)