May 21, 2024

බාධා ඉවතට! ලංකාවට ඇවිත් වීසා වලට මුදල් ගෙවන්න පුළුවන්

February 07, 2022
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ගුවන් මගීන්ට එම රටවල සිට ගෙවීම් කටයුතු සිදු කෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියා විරහිත වීම නිසා, ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් තොටුපළේ දී අදාල ගෙවීම් කටයුතු සිදු කර වීසා ලබා ගැනීමේ පහසුකම පසුගිය 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සකස් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව ඔස්ට්‍රියා, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, පෝලන්තය, ඉතාලිය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, ස්වීඩනය, හංගේරියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය ස්ලෝවේනියාව, එසතෝනියාව, අයිස්ලන්තය, කියුබාව, සිංගප්පූරුව, රුසියාව සහ යූක්‍රේනය යන රටවලට මේ වනවිට මෙම නිවේදනය දැනුම් දී තිබෙනවා.
මෙම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට එරට ගුවන් තොටුපළේ දී, මෙරටට පැමිණීම සදහා වීසා ලබා ගෙන නොමැති නම් , ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව එරට ගුවන් තොටුපළ බලධාරීන් විසින් මේ පසුබිම යටතේ අත්හිටුවා තිබෙනවා.
එනිසා මෙම නිවේදනය ඉහත රටවල ආගමන විගමන, ගුවන් තොටුපළ සහ විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යොමු කර තිබෙනවා.
ඒ අනුව එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ , එම ගුවන් තොටුපළේ දී වීසා කටයුතු සදහා අදාළ ගෙවීම් සිදු කර ගත හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Rate this item
(0 votes)
Last modified on Monday, 07 February 2022 13:05