May 19, 2024

ආණ්ඩුවෙන් අඩු මිලට සිමෙන්ති! මිල 1500යි - ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අර්බුදය තවම එකතැන

February 06, 2022

වෙළෙඳපොළේ හටගෙන ඇති සිමෙන්ති, ටයිල් හිඟය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

සිමෙන්ති සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සෙසු නිෂ්පාදනවල හිඟය මෙන්ම ඒවා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස දුෂ්කරතාවයට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ.

රජය විසින් ආනයනය කරනු ලබන සිමෙන්ති තොග තවත් සති 03ක් තුළ වෙළදපොලට නිකුත් කරන බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සිමෙන්ති හිගය මවා පෑමක් 

මේ වන විට වෙළදපොලේ පවතින සිමෙන්ති හිගය ඇතැම් සමාගම් විසින් කළ මවා පෑමක් බවයි ගාඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කිර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා පැවසුවේ.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාවය කොට්ට ලක්ෂ 140ක් පමණ වනවා.

එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන සිමෙන්ති කොට්ට ප්‍රමාණය සියයට 40ක්.

සමාගම් දෙකක් මෙරට අවශ්‍යතාවයෙන් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයන කර මෙරටදී ඇසුරුම් කළ බෙදාහැරීම සිදු කරනවා.

තවත් සියයට 10ක ප්‍රමාණයක් සිමෙන්ති කොට්ට ලෙසම ආනයන කර මෙරට බෙදා හැරීම සිදු කරනවා.

මෙරට නිෂ්පාදනය කෙරෙන සිමෙන්ති කොට්ටයක සඳහන් මිල රුපියල් 1,375ක්.

ආනයනය කර මෙරට බෙදා හැරීම සිදු කෙරෙන සිමෙන්ති කොට්ටයක මිල සඳහන් වන්නේ රුපියල් 1,575ක් ලෙසයි.

සිමෙන්ති අඩුවට

කිර්ති රංජිත් අබේසිරිවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500කට අඩු මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශීය ටයිල් නිෂ්පාදන හිඟවීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම හා මිල ඉහළ යාමේ තත්ත්වය පෙනෙන්නට තිබෙනවා.

ඒ පිළිබඳ සැලකිල්ලට ගෙන ටයිල් සීමිත ප්‍රමාණවලින් ආනයනය කර බෙදාහැරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට බලය පවරමින් පසුගියදා ගැසට් පත්‍රයක්ද නිකුත් කළා.

ටයිල්වලට කලු කඩ මිලක්

ඊට අදාළව ටයිල් ආනයනය කර අලෙවි කළ ද විවෘත වෙළෙඳපොළේ පවතින හිඟය හේතුවෙන් අලෙවිකරුවන් විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් මිලදී ගන්නා ටයිල් ඉහළ මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට නැවත අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබූ බව සඳහන්.

මෙම තත්ත්වයන් වැළැක්වීමට අදාලව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට පසුගියදා උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ වැඩපිළිවෙලට අනුව එම සංස්ථාව මගින් ටයිල් මිලදී ගැනීම සිදුකරන්නේ ඉදිකිරීම් කටයුතු සඳහා පමණක් බවට වන ප්‍රාදේශීය බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා පවසනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව පාකිස්ථානයෙන් සිමෙන්ති ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් ලබාදීමට රජයේ එකඟතාව පළවී ඇති බව ඔහු පැවසුවා.

Rate this item
(0 votes)