May 21, 2024

හිටපු දේශපාලකයන්ගේ බිරින්දෑවරුන්ටත් ඇමති ආරක්ෂාව! මෝඩ යකාටත් ආරක්ෂාව දීලා

February 06, 2022

හිටපු මැති ඇමතිවරුන්ගේ සහ මියගිය දේශපාලඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට ඇමති ආරක්ෂාව ලබා දී තිබෙන බවට වාර්තා වනවා.

එලෙස ඇමති ආරක්ෂාව ලබා දුන් එම ලැයිස්තුවට තවත් විශේෂ පුද්ගලයින් රැසකගේද නම් ඇතුළත්.

ඒ අනුව පැරදුණු මැති ඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය දේශපාලඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන් ද ඊට අයත්. 

කෝටි 15ක ආරක්ෂාවක්

පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ (M.S.D) නිලධාරීන් 245ක් ලබාදී ඇති බවයි.

මෙම පුද්ගලයින්ට මෙලෙස ආරක්ෂාව ලබාදීම සඳහා රජයට වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 15කට ආසන්න බවයි දැනගන්නට තිබෙන්නේ.

ඇමැති ආරක්ෂක අංශයේ මෙපමණ නිලධාරීන් විශාල පිරිසක් පැරදුණු මැතිඇමැතිවරුන්, දේශපාලනඥන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිස්වලට ලබා දීමට සිදුවීම නිසා නිලධාරි හිඟයක් ඇතිවී තිබෙනවා.

එනිසා එම අංශයේ රාජකාරි කටයුතුවලට විශාල ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිටපු ජනපති බිරිඳට MSD 17යි

විශේෂයෙන්ම විදේශ දූත පිරිස් පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට ආරක්ෂාව ලබාදීමේදී මෙම ගැටලුව දැඩි අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වනවා.

අභාවප්‍රාප්ත හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 17 දෙනකුද, අභාවප්‍රාප්ත හිටපු කතානායකවරයකුගේ බිරිඳට එම අංශයේ නිලධාරීන් දෙදෙනකුද පසුගිය කාලයේදී ඝාතනයට ලක්වූ ඇමැතිවරයකුගේ බිරිඳට  ආරක්ෂකයන් දෙදෙනකුද යොදවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

සුවිශේෂ කරුණ වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි ගණනක් හොරෙන් ලබාගත් බවට චෝදනා ලැබූ නිලධාරියාටද ඇමැති ආරක්ෂකයන් දෙදෙනකු ලබාදී සිටීමයි.

නායක ස්වාමීන්වහන්සේලා පිරිසකට ලබාදී ඇති ප්‍රභූ ආරක්ෂකයන් ගණන 38 ක්.

රජය විශාල වශයෙන් මූල්‍යමය දුෂ්කරතාවයකට පත්ව සිටින අවස්ථාවක ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් නොමැති  පිරිස්වලට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සඳහා විශාල මුදල් සම්භාරයක් යට කිරීම අපරාධයක් බවයි ආර්ථික විශේෂඥයන් රැසක් රජයට පෙන්වා දී ඇත්තේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 06 February 2022 02:54