May 21, 2024

නිවෙස්ගත කොවිඩ් රෝගීන් ඉහළට! ළමුන් අතරත් පැතිරිලා - පොදු ස්ථාන තහනම ගැසට් කරයි

February 06, 2022

නිවෙස්තගව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

පෙරේදා(04) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,243 දෙනෙකු හඳුනාගැණුනා. දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස දහසේ සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව හයවන දිනටයි.

මේ වන විට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇති බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහතා සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 28 දෙනකු පෙරේදා (04) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 21 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30 ට අඩු දෙදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම පිරිමි අය 20 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන්.

ළමුන් අතර කොරෝනා

ළමුන් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ද වැඩි වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ ළමුන් 110 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළා.

මේ අතර මේ වන විට බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම මාසයේ ගතවූ දින 04 තුළ පමණක් තුන් ලක්ෂ 28,000 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නා. 

පොදු ස්ථාන තහනම

මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට ලබන අප්‍රේල් මස 30වනදා සිට පොදු ස්ථානවලට ඇතුලු වීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාල නියෝග ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානයන් යටතේයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

පොදු ස්ථාන කවරේද යන්න ඉදිරියේදී දැනුම්දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

Rate this item
(0 votes)