May 20, 2024

කරුණු 15ක යෝජනාවලියක් සම්මතයි! ශ්‍රීලනිපය මැතිවරණයට එන්නේ අලුත් සන්ධානයෙන් Featured

February 06, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සහ ජනතාව වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රීලනිපයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ රටේ පවතින වත්මන් අර්බුදයන්ට පිළියම් ලෙස විසදුම් යොජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා අනුමැතිය හිමිවු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉදිරියේදී නව සන්ධානයක් ගොඩනැගීමට මේවන විට සාකච්ඡා පවත්වමින් යන බවත් එම සන්ධානයේ බලාපොරොත්තුව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම බවත් ඔහු පෙන්වා දුන්නා.

වත්මන් අර්බුදකාරී වාතාවරණය තුළ උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය නිරීක්ෂණය කරමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බවත් මෙම අර්බුදකාරී තත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීමට තම පක්ෂය දියත් කරන ක්‍රියා පිළිවෙත සමග ඒකරාශී වන ලෙස මහජනතාව ඇතුළු සියලු පාර්ශවයන්ට ආරාධනා කරන බවත් එම පක්ෂය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (04) රැස්වූ අවස්ථාවේ කෙටුම්පත් කර, ඊයේ (05) පැවැත්වූ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී එම යෝජනාවලිය සම්මත කර තිබෙනවා.

මෙම යෝජනාවලිය කරුණු 15 කින් සමන්විත අතර ආර්ථික අර්බුදය, හරිත ගොවිතැන, ආණ්ඩුකරණය ඇතුලු කරුණු ඊට ඇතුලත්.

එම යෝජනාවලිය මෙසේය.

* ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩ නැගෙන්නේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන්නේත්, ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික සංවර්ධන ඉදිරි වැඩපිළිවෙල සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවක් මත බව පළමුව සිහිපත් කරනු කැමැත්තෙමු.

* ජනතාව ‘සෞභාග්‍යයේ දැක්ම’ වැළඳ ගත්තේ හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණක් ලෙස නොවේ. එය 1977න් පසුව ක්‍රමානුකූලව අකර්මන්‍ය කරනු ලැබුවා වූ ස්වදේශිකවාදී ආර්ථික, දේශපාලනික, සමාජමය ප්‍රතිපත්තිමය සැළසුම් නිසා ඇද වැටෙන ජාතික රාජ්‍යය දෙපයින් නගා සිටුවීමේ සම්මුතියක් ලෙස වටහා ගත්තද, වත්මන් ආණ්ඩුව විසින් තීන්දු නොගැනීම සහ ගනු ලබන්නා වූ තීන්දු තීරණ වල අනිසි බලපෑම් හා අර්බුද කළමනාකරණ දුර්වලතාවන් සම්බන්ධයෙන් ජනතාව දැඩි කළකිරීමට පත්ව සිටී. ඒ අතරතුර දිනෙන් දින උග්‍ර වන අර්බුද රාශියක් ඔස්සේ දේශපාලන අස්ථාවරත්වයක් දක්වා තල්ලු වෙමින් තිබෙන බව නම් පැහැදිළි ය. අන් කවර කලකටත් වඩා බුද්ධි ගලනය උත්සන්න වීමට මෙයද එක් හේතුවකි.

* ආර්ථික අර්බුදය, කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය නිසා පමණක් උද්ගත වූවක් නොවේ. පැවති ආර්ථික අර්බුදය, ගෝලීය වසංගතයේ බලපෑම නිසා නිරාවරණය වීමත්, උත්සන්න වීමත් සිදු වීය. ලෝකයේ හොඳම සෞඛ්‍යය ව්‍යාප්ති සේවයක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමකට ලක්ව තිබුණද, කොවිඩ් වසංගත තත්ත්වය කළමනාකරණයේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් ඇතැම් අවස්ථා වලදී විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකූළ නොවිනි.

* ඌණ සංවර්ධනය, සමාජ සාධාරණත්වය, යුක්තිය, නීතිය හා සාමය වැනි ක්ෂේත්‍රයන්හි කාලාන්තරයක් මුළුල්ලේ පැවති දුර්වලතා සමනය කරමින් සංවර්ධනය වේගවත් කිරීමටත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත් නව ව්‍යවස්ථාවක් ඉක්මනින් සම්පාදනය කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළේය. එසේ හෙයින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කෙරෙන නව ව්‍යවස්ථාවක් වසරක් තුළ සම්පාදනයට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.

* ආණ්ඩුකරණයේදී විනිවිදභාවය හා වගවීම පිළිබඳ වර්තමානයේ සෑහීමකට පත්වීමට හැකියාවක් පවතීද? නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාශය තහවුරු කිරීම සඳහා සහ ආණ්ඩුකරණයේ විශ්වශනීයත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට රටේ විවිධ ස්ථානයන්හි වාර්තා වන වංචා දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහ වහා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

* හරිත ගොවිතැන ඉතා වැදගත් සංකල්පයක් වුවද, එය ක්‍රියාවට නැංවීමේදී ගනු ලැබූ අවිද්‍යාත්මක තීරණ මෙන්ම, උද්ගත වූ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් ගොවීන් අතර එම සංකල්පය පිළිබඳව ඇතිවී ඇත්තේ විරෝධාකල්පයකි. එම ප්‍රායෝගික ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව දැඩි අර්බුධයකට ලක්වී ඇත. එසේම විදේශ සංචිත සිඳී ගිය තත්ත්වයක් තුළ, තේ ඇතුළු අපනයන භෝගයන්හි නිෂ්පාදනයද දැවැන්ත ලෙස කඩාවැටීම නිසා ශ්‍රී ලංකාව දැන් මුහුණ දෙන්නේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට බව සඳහන් කළ යුතුමය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුවන බව පිළිගන්නා ආණ්ඩුව, ජාතික නිෂ්පාදන ධාරිතාවන් ඉහළ නැවීමට හා වියදම් අඩුකිරීමට ක්‍රමෝපායික පිළිවෙත් අනුගමනය කර ඇත්ද? ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න වේ. එසේ හෙයින් මෙවර මහ කන්නයේ අස්වනු හානිය නිසා ඇතිවන සහල් හිඟය පියවීමට ආණ්ඩුව වහා පියවර ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එසේම වගා හානි පූර්ණය සඳහා මුල්‍යමය වශයෙන් වී ගොවීන්ට මෙන්ම තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අනෙකුත් සුළු අපනයන භෝග වගාකරුවන්ටද සහන සැලසිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

* වත්මන් අර්බුද කිසිවක් එකිනෙකින් වියුක්ත ඒවා නොවේ. බලශක්ති අර්බුදයට එකම හේතුව ගල් අඟුරු හෝ තාප බලාගාර ඉදිනොවීම යැයි යම් පාර්ශව අගතිගාමී ලෙස ඒත්තු ගන්වන්නට උත්සහ කළද, ඇත්තෙන්ම අද සිදුවී ඇත්තේ ඉන්ධන නොමැතිවීම නිසා බලාගාර අක්‍රිය වීමය. එය ආර්ථික අර්බුදයේම අතුරු ඵලයකි. කෙතරම් සුදුසු ස්වභාවික පාරිසරික වාතාවරණයක් පැවතියද සූර්ය ශක්තිය ඇතුළු සෙසු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගැන සැලකිවයුතු අවධානයක් කඩිනමින් යොමු කිරීමද ඉතා වැදගත් ය. එසේම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති ආයතනික හෝ තාක්ෂණික බාධා නොපමාව ඉවත් කිරීමටද රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

* අර්බුද උත්සන්න වත්ම, ස්වදේශික සම්පත් හා ජාතික වත්කම් කුණු කොල්ලයට විකුනා දැමිම වැනි කුරිරු ආර්ථික කළමනාකරන උපාය මාර්ගය දක්වා ආණ්ඩුව තල්ලු කරන, රට තුළ ක්‍රියාත්මක අවස්ථාවාදී ආර්ථික ඝාතක ඒජන්තයින්ගේ ක්‍රමෝපාය මනාව හඳුනා ගනිමින් ඒවා නිසි ලෙස කළමනාකරණයටද ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි.

* අහාර ද්‍රව්‍ය හිඟය කවර නම් වියවුල් සහගත සමාජ වටාපිටාවක් නිර්මාණය කරනු ඇත්දැයි සිතීම අසීරු ය. පෝෂණ ඌනතා නිසා අනපේක්ෂිත ලෙස සමාජයේ දිළිඳු ජන කොටස් (විශේෂයෙන්ම දරුවන් හා ගැබිණි මවුවරුන්) මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දීම නිසා ජාතික සංවර්ධන අභිලාෂයන් දශක ගණනාවක් ආපස්සට යා හැකි බැවින්, ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

* මෙම තත්ත්වයන් සුවිශේෂීව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, ආර්ථික සුරක්ෂිතතාව හා ජෛව සුරක්ෂිතතාව යන සිව් වැදෑරූම් ක්ෂේත්‍ර වල බරපතල අර්බුද උද්ගතවීමේ අවධානම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.

* රටපුරා මතුවී උත්සන්න වන අක්‍රමවත් ආණ්ඩු විරෝධය ඉඟි කරන්නේ ඉහතකී අර්බුදයන් නිසා උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය යි. මෙම අස්ථාවරත්වය සාධනීය ලෙස කළමනාකරණයට වත්මන් ආණ්ඩුව නොපමාව පියවර ගත යුතුයැයි අපි සිතමු.

* මෙම සුවිශේෂී පසුබිම ජාතික අර්බුදයක් හෙයින් එය විචක්ෂණශීලීව හා ඵලදායීව කළමනාකරණය කරනු පිණිස පටු පක්ෂ දේශපාලනික අරමුණු වලින් බැහැරව ජාතික විසඳුම් සාකච්ඡා කළ හැකි සර්ව පාක්ෂික ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. එහිදී ජීවන වියදම් ගැටලුව, සියලු පරිමානයේ ව්‍යාපාරයන්හි ඇතිවී ඇති ඇද වැටීම, ඩොලර් සංචිත අර්බුධය, ධීවරයන්ගේ ගැටළු ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින්, එම කමිටුවේ සියලු ශක්තීන් ඒකාබද්ධ කරගත් නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙලක් යටතේ, ඉහත කී සිව් වැදෑරුම් අර්බුදයන්ට පිලියම් සෙවීමේ කෙටි හා මධ්‍ය කාලීන වැඩ පිළිවෙලක් වහා කෙටුම්පත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

* සියලු රාජ්‍ය ආයතන හා දේශපාලන පක්ෂයන්හි ප්‍රාදේශීය යාන්ත්‍රණයන් ඒකාබද්ධ කරගනිමින් යළ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ඇතුළු සෙසු යෙදවුම් පහසුකම් යුහුසුළුව තහවුරු කළ යුතුව තිබේ. ඊටම සමගාමීව, වෙනත් කෙටි කාලීන ධාන්‍ය බෝග ඇතුළු සෙසු ක්ෂේත්‍ර භෝග හා එළවලු, ක්ෂුද්‍ර හා සුළු පරිමාන ලෙස වගා කරවීමේ වැඩ පිළිවෙලක් තුළ සීඝ්‍ර ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් දියත් කරන ලෙසද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

* පලාත් පාලන හා පලාත් සභා නියෝජිතයින් පත්කර ගැනීමට ජනතාවට ඇති පරම අයිතිය තහවුරු කරමින් පලාත් සභා හා පළාත් පාලන මැතිවරණ නොපමාව පවැත්වීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.

* ඊටම සමගාමීව මෙම යෝජනා පදනම් කරගනිමින් වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීමේ අප පක්ෂය විසින් දියත් කරන ක්‍රියා පිළිවෙත උදෙසා අප සමග ඒකරාශී වන ලෙස මහජනතාව ඇතුළු ඒ සඳහා කැපවන සියලු පාර්ශවයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරාධනා කරයි.

Rate this item
(0 votes)