May 02, 2024

දෙමළ පක්ෂ 7කින් දෙමළ ජාතික ජනතා පෙරමුණට අභියෝගයක්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ නම් දෙමළ ජනතාව වෙනුවෙන් පිළිගත හැකි විසඳුම් යාන්ත්‍රණය කුමක්දැයි හෙලි කරන ලෙසට දෙමළ දේශපලන පක්ෂ 7ක් දෙමළ ජාතික ජනතා පෙරමුණට අභියෝග කර සිටිනවා.

දෙමළ දේශපාලන පක්ෂ 7ක නායකයින් විසින් යාපනයේදී ඊයේ (29) පැවති රැස්වීමකින් අනතුරුව ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා මේ බව පවසා සිටියා.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට බල කරන ලෙසට දෙමළ ජාතික සන්ධානය, ඉගංගෙයි තමිල් අරුසකච්චි, තමිල් මක්කල් කූට්ටනී, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂ 7ක නායකයින් විසින් පසුගියදා විශේෂ ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙතට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් ලබා දීමට පියවර ගෙන තිබුණා.

එයට දැඩි විරෝධයක් පාමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුලු එම පක්ෂ ක්‍රියාකාරීන් විසින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පලකොට 13ට එහා ගිය පාලනය උතුරු නැගෙනහිරට අවශ්‍ය බව පවසමින් අත්පත්ත්‍රිකා බෙදා දීම හා රථපෙලපාලිවලින් ගමන් කිරීම ආදී වැඩසටහන් පසුගිය දිනවල උතුරු පලාතේ සංවිධානය කොට තිබුණා.

කෙසේ වෙතත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා වැඩිදුරටත් කියා සිටියේ,

"දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මේ වන විට දෙමළ ජනතාව මුලා කරමින් සිටිනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එපා නම් විසඳුම කුමක්දැයි පෙන්වා දිය යුතුයි. නමුත් විධිමත් විසඳුමක් මේ දක්වා එම පක්ෂයට නැහැ. 13න් එහාට ගිය පාලනයක් ජනතාවට නොව අවශ්‍ය වී ඇත්තේ එම පක්ෂ නායකයින්ටයි.

එලඹෙන පලාත් සභා මැතිවරණයට මේ වනතුරුත් දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් මහ ඇමතිවරයෙක් නම් කරලා නැහැ. පක්ෂය තුල ගැටීම් තියනවා. ප්‍රතිපත්තියක් නැහැ. එහෙම වාතාවරණයක මෙලෙසින් ජනතාව රැවටීම පිළිගත නොහැකියි."

මේ අතර ඊයේ සහ අද (30) දිනයේත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පාමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින් උතුරේ ස්ථාන කිහිපයක රථ පෙලපාලි සංවිධානය කොට තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 January 2022 15:37